වැලිසර කඳවුර යළි විවෘත කිරිමට සූදානම්

වැලිසර කඳවුර යළි විවෘත කිරිමට සූදානම්

by Staff writer 20-06-2020 | 1:56 PM
COLOMBO (News 1st) : වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කිරිමට කටයුතු සුදානම් කර ඇතැයි, නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේ , අදියර කිහිපයක් යටතේ එය විවෘත කරන බවයි. කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා වැලිසර නාවික හමුදා කඳවුර පසුගිය අප්‍රේල් 27 වැනිදා වසා දැමිණ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේ, මේ වන විට කොරෝනා අසාදිත නාවිකයින් 127 දෙනෙකු සිටින බවයි. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දක්වා ඉහළ ගියේ ය. ඒ, ඊයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1446 කි. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 325 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි. හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ , මධ්‍යස්ථාන 42 ක පුද්ගලයින් 3634 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි. නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 15, 411 දෙනෙකු මේ වන විට නිවෙස් වෙත යොමුකර ඇතැයිද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.