සොයිසාපුර වෙඩි තැබීම : සැකකරුවෙකුගේ නිවසක අවියක්

සොයිසාපුර හෝටලට වෙඩි තැබූ සැකකරුවෙකුගේ නිවසකින් අවියක්

by Staff writer 19-06-2020 | 6:14 PM
COLOMBO (News 1st) : සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසකින් ටී- 56 උණ්ඩ යෙදිය හැකි අවියක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක් අද සොයා ගැනිණ. ඒ දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අද මොරටුමුල්ල, ඉදිබැද්ද ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. එම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණි මෝටර් රථයේ රියදුරුගේ මව පදිංචිව සිටි නිවසේ අපජලය බැහැරවන වළක තිබියදී මෙම ගිනිඅවිය සොයා ගැනිණ. එම ස්ථානයේ තිබී 9MM සහ T - 56 වර්ගයේ උණ්ඩ කිහිපයක් හා හිස්පතරොම් කොපු කිහිපයක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධානාගරගත කර සිටින මෝටර් රථයේ රියදුරුගේ 56 හැවිරිදි මව සහ 24 හැවිරිදි මිතුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සහ අදාළ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මතයි. රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් මෝටර් රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය.