by Staff writer 19-06-2020 | 8:53 PM
COLOMBO (News 1st) : ශාසන චිරස්ථිතිය සඳහා ධර්ම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටී.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මහනායක හිමිපාණන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ජනමාධ්‍ය තුළින් දැක ගැනීමට ලැබුණු කරුනු අනුව ඇතැම් භික්ෂුන්වහන්සේ , භික්ෂුත්වයට නොගැළපෙන අන්දමින් අගෝචර කටයුතුවල යෙදෙන බවයි.
රට තුළ පවත්නා ආපදා අවස්ථාවේ බුදුරජාණන්වහන්සේ, භික්ෂුන්ට නුසුදුසු දැයි අනුදැන වදාළ තම මුලික භික්ෂු අනන්‍යතාවන් පවා නොසලකා අගෝචර කටයුතුවලින් වැළකී සිටීම වඩාත් උචිත බව උන්වහන්සේ විසින් වටහා ගතයුතුව ඇති බව ද මහනාහිමිවරු පෙන්වා දෙති.
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ භික්ෂුව සෑම විටම කළ යුත්තේ ස්වකීය දායක කාරකාදීන්ගේ සුබසාධනය හා සමාජ සංරක්ෂණය සැලසීමේලා ඔවුනට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම බවයි.
විශේෂයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට හේතුවන බව දායකයින්ට පහදාදීම වඩාත් යෝග්‍ය බව ද ත්‍රෛනිකායික මහනායක හිමිපාණන්වහන්සේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.