COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවට වික්කා ද?
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද NEWSLINE සමග එක්වෙමින් මේ ගැන අනාවරණයක් සිදු කළේ ය.
''මම නම් අදත් කියන්නේ මං ඔබට අද කියන්නේ 2011 මං අද කියනවා අපි 2011 ලෝක කුසලානය වික්කා කියලා. මං අද ඉන්නවා එතැන. මං මගේ ක්‍රීඩා ඇමතිවරයා හැටියට හිටපු කාලෙත් මං ඒක කරා. මං ඒක වගකීමෙන් කියන්නේ. 2011 ඒකට තියෙනවා. ඒකට තියෙනවා. නමුත් මම රටක් හැටියට මං ඒක එළි කරන්න කැමති නෑ. මම කියන්නේ අපි 2011 ද 12 මට හරියට මතක නෑ. අපි දිනන්ඩ තිබ්බා, ඉන්දියාව එක්ක ගහන්ඩ තිබ්බ තරගය. මම කියනවා ඒක පාවාදීමක් කරා කියලා''
ප්‍රශ්නය :
ඒ කියන්නේ මැච් එක සල්ලි වලට වික්කා ?
පිළිතුර : (මහින්දානන්ද අලුත්ගමගේ)
''මම වගකීමෙන් කියනවා මට දැනෙනවා. එහෙම දෙයක් කියලා. මට ඕන නම් ඒ පිළිබඳ විවාදයක් කරන්න පුළුවන්. මට ඒ පිළිබඳ කතා කරන්න පුළුවන්. ඒ පිළිබඳ විශාල ජනතාවගේ මේකක් තියෙනවා. ඉතිං ඒක නිසා මට දැනෙනවා මේකට ක්‍රීඩකයින් සම්බන්ධ කර ගන්නේ නෑ. හැබැයි යම්කිසි පාර්ශවයන් විසින් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා''
2011 අප්‍රේල් 2 වනදා ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි.
තරගාවලියේදී මුත්තයියා මුරලිදරන් සහ ඇන්ජලෝ මැතිව්ස් ආබාධ තත්ත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් චමින්ද වාස් සහ සුරාජ් රන්දීව් සංචිතය සමග එක් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ක්‍රීඩා කළේ, ක්‍රීඩකයින් 4 දෙනෙකුගේ වෙනස් කම් සමගයි.
එතෙක් තරගවලට සහභාගිවූ චාමර සිල්වා, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අවසන් තරගයට චාමර කපුගෙදර, තිසර පෙරේරා, සුරාජ් රන්දීව් සහ නුවන් කුලසේකර කැඳවීමට එවක තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ.
අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ කඩුලු 6 කිනි.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් 2017 ජුලි මාසයේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තාකර තිබුණේ, 2011 ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
මේ තරගය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට තරම් චෝදනා ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද 2017 වසරේදී ප්‍රකාශ කළේ ය.
2011 ලෝක කුසලානය තරග කරන කාලසීමාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.
එවක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ඩී.එස් ද සිල්වා මහතා කටයුතු කළ අතර නිශාන්ත රණතුංග මහතා ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.
සුරාජ් දන්දෙනිය මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය.
මෙම තරගාවගිවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස් අරවින්ද ද සිල්වා මහතා කටයුතු කළ අතර අමල් සිල්වා, රන්ජිත් ප්‍රනාන්දු මහ ශබීර් අස්ගර් අලී යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.
එවක ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මහින්දානන්ද අලුත්ගමයේ හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙය බරපතළ චෝදනාවක් බවයි.
- උපුටා ගැනීම -
''මා විශ්වාස කරනවා මේක බරපතළ චෝදනාවක් බැවින් ඔහු සතු සියලු සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා දූෂණ මර්දන ඒකකයට ලබා දීමට කටයුතු කළ යුතුයි කියා. එසේ වුවහොත් කිසිවෙකුටත් උපකල්පනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පුළුවන් මේකේ මුලටම ගිහිල්ලා කටයුතු කරන්න.ඒක තමයි ඥානාන්විතම ක්‍රියාව. මගේ මතකය නිවැරදි නම්, ඒ වෙනකොට ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු තමයි''
- උපුටා ගැනීම අවසන් -
2011 ලෝක කුසලාන අවසන් තරගයේ කණ්ඩායහේ උප නායක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතාද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.
- උපුටා ගැනීම -
''මැතිවරණයක් ආසන්නයේ සර්කස් සංදර්ශනයක් ආරම්භ වී ඇති බව පේනවා. නම් සහ සාක්ෂි ඉදිරිපත් කරන්න''
- උපුටා ගැනීම අවසන් -
මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ඒ පිළිබඳව ඔවුන්ට අදහස් දැක්වීමට නොහැකි බවයි.
මේ අතර ඉතා බරපතළ චෝදනා අප කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය බිඳ දමන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, මේ චෝදනා පදනම් කරගෙන ඉතා කඩිනමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/288798992314956/
https://youtu.be/tAKVfWO78HU
https://www.facebook.com/NewsfirstSL/videos/724684928350340/