චීනයට කොරෝනා ආවේ යුරෝපයෙන් බව චීනය කියයි

චීනයට කොරෝනා ආවේ යුරෝපයෙන් බව චීනය කියයි

by Staff writer 18-06-2020 | 10:16 PM
COLOMBO (News 1st) : චීනයට කොරෝනා ආ හැටි මෙරට වැඩබලන තානාපති ජනපති හමුවේ අනාවරණය කරයි කොරෝනා වෛසරය පැතිරුණේ පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මගින් බව චීනය අනාවරණ කරගෙන ඇතැයි ජනාධිපති මාධය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා ඇතුළු දූත පිරිසක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවට අදාළවයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජුනි 20 වැනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන් දිනයට සුබ පතමින් චීන ජනාධිපති ෂී ජිං පිං මහතා යොමු කළ ලිපියක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු බවයි. කොවිඩ් 19 වසංගතය මර්දනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයාගේ ප්‍රසාදය දිනා ඇතැයි චීන දූත පිරිස මෙහිදී ජනාධිපතිතුමාට පවසා තිබේ. කොරෝනා වෛසරය පැතිරුණේ පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මගින් බව ද චීන බලධාරීන් මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දෙපාර්ශවය තවත් ක්සේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව මෙම හමුවේදී වඩාත් අවධානය යොමු වු බවයි. ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මුල්‍ය සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. මේ අතර යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොවිඩ් 19 අර්බුදයෙන් පසු ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිතුමාට ධනාත්මක ප්‍රතිචාර දැක්වු යුරෝපා සංගම් නියෝජිතයින් තම රටවලට ශ්‍රී ලංකාවට සහය වීමේ විවිධ ක්‍රම පිළිබදව දීර්ඝව සාකච්ඡා කළ බවයි.