ආණ්ඩුවට අභියෝග ජයගත හැකියි - අගමැති

ආණ්ඩුවට අභියෝග ජයගත හැකියි - අගමැති

by Staff writer 18-06-2020 | 8:45 PM
COLOMBO (News 1st) : තම ආණ්ඩු සමය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමය යටතේත් අභියෝග ජයගත හැකි බව කොවිඩ් 19 මර්දනය කළ ආකාරයෙන් ඔප්පු වී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඊට හේතුව ජනාධිපතිවරයා ලබාදුන් නිවැරදි දේශපාලන නායකත්වය බවයි. අලුත් ජනාධිපතිවරයා බලයට පත්ව දින ගණනක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක පැහැරගෙන ගොස් හිරිහැර කර ප්‍රශ්න කළ බවට නාටකයක් රඟ දැක්වූ බව අග්‍රාමාත්‍යවරයා පවසයි. නමුත් ඔහු පෙන්වා දෙන්නේ සියලුම කුමන්ත්‍රණ අලුත් ජනාධිපවරයා දක්ෂ ලෙස ව්‍යාර්ත කළ බවයි. හිටපු හමුදා නිලධාරියෙකු යටතේ දරදඩු පාලනයක් පටන් අරගෙන ඇතැයි, හදපු ප්‍රචාරය බොරු කරමින් ජනාධිපති කාර්යාලය වට කිරීමට එන සියලුම උද්ඝෝෂකයින්ට ජනාධිපතිවරයා නිදහසේ පැමිණෙන්නට මෙන්ම සංග්‍රහ භුක්ති විදීමට ද අවස්ථාව ලබාදුන් බව රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සාමාන්‍ය ජනජීවිතය ආරම්භ කරපු ගමන්ම,එක් පොඩි දේශපාලන කණ්ඩායමක් ඇමරිකාවේ සිද්ධියක් මුල්කරගෙන උසාවියේ වාරණය ද නොතකා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔවුන් කුදලා ගෙන ගොස් උසාවියට ඉදිරිපත් කළ බවයි. 2014 දී පහරදීමට ලක්වූවා යැයි කියා ඇඳක සිටින බොරු වීඩියෝ අධ්‍යක්ෂණය කර අතටම අහුවූ නිළියන් මෙන්ම රාජපක්ෂවරු පාලනය කරන රටක ඉන්නවාට වඩා තමන් ඉපදුණු ගමන් කාණුවට විසි කළේ නැත්තේ ඇයි කියලා ඇසූ කොණ්ඩාකාරයනුත් රාජ්‍ය මර්දනයක් ගැන කියමින් අවුරුදු පහකට පසු ආයෙමත් කළඑළි බැස ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඇතිවූ සිද්ධිය ගැන ආණ්ඩුවක් ලෙස පැහැදීමක් නොමැති බවයි. එයට මුල් වුණු අය වෘත්තිමය උද්ඝෝෂකයින් බවත් ඔවුන් පොලීසිය ප්‍රකෝප කරන අයුරු හොඳින් දන්නා බවත් ඔහු පෙන්වා දෙයි. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ උඩරට දෙමළ ජනතාවගේ අසහාය නායකයා වන තොණ්ඩමන්ගේ අභාවය වෙනුවෙන් ශෝකයට පත්ව සිටි ජනතාව එක්රැස් වීම පාලනයට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ විට එම ජනතාව එය පිළිපැදි බවයි. උසාවි නියෝගවලටත් පටහැනිව ලංකාවට කිසිම අදාළත්වයක් නැති පිටරට සිද්ධියක් මුල්කරගෙන පවත්වන උද්ඝෝෂණ ඊට හාත්පසින්ම වෙනස් බවද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව කාලයේ සේම ජනාධිපති කාර්යාලය ළඟට උද්ඝෝෂකයින් දිනපතාම පැමිණි බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේ ය. ඉන් වැඩි පිරිස පැමිණියේ යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු පත්වීම් ස්ථිර කර ගන්න බවත් ඔවුන් බැන වැඳුණේ, කලින් ආණ්ඩුවට බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට යළි හම්බන්තොටට එන්න එපා යැයි එම තරුණ පිරිස් පැවසූ බවයි. ඒ කිව්වා වගේම යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා කොළඹින් මේ පාර තරග කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන් ය. රුපියල් 5000 දුන්අවස්ථාවේ එය ප්‍රමාණවත් නොවන බවත් රුපියල් 65000 ක් ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළ බව මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෝඩ කථා කියන්න එපා යැයි කවුරුන් හෝ ප්‍රකාශ කළ පසුව එය රුපියල් 20000 ට අඩුකළ බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/693177587925240/