by Staff writer 17-06-2020 | 9:41 PM
COLOMBO (News 1st) : විදුලි පරිභෝගිකයින්ට ලැබෙන නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත බව විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ, එය නිකුත් කරනු ලබන්නේ පාරිභෝගිකයින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බවයි.
කිසියම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබී තිබෙන්නේ නම් එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසා දෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා උපුටා දක්වමින් විදුලි බල බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිදු නිවෙසක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, පසුගිය මාස කිහිපය සඳහා නිකුත් කළ විදුලි බිල්පත්වල යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ ද යන්න පිළිබඳ ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කරුණු විමසා තිබේ.
ඒ අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදීයි.