ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

by Staff writer 17-06-2020 | 4:24 PM
COLOMBO (News 1st) : මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරනු ලැබ ඇත්තේ, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසිනි. කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී. සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති. මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදුකිරීමේදී කරන්නා වූ සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ මේවා කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබලා ගතයුතු ඉදිරි පියවර සහ නිර්දේශ ලබාදෙන ලෙස කමිටුවට දන්වා තිබේ. කමිටුවේ වාර්තාව දින 14 ක් තුළ ලබාදිය යුතු අතර, මහ බැංකුවේ අධිපතිවරයා කමිටුවට නියෝග කර ඇත්තේ බැංකු ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් සහ වෘත්තිකයන් ඊට සම්බන්ධ කරගන්නා ලෙසයි.