ප්‍රකෝප කළොත් ක්‍රියාමාර්ග ගන්නවා- ඉන්දීය අගමැති

''ඉන්දියාවට සාමය අවශ්‍යයි, ප්‍රකෝප කළොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා'' - ඉන්දීය අගමැති

by Staff writer 17-06-2020 | 7:33 PM

COLOMBO (News 1st) - ඉන්දියාවට සාමය අවශ්‍යය බවත්, ප්‍රකෝප කළහොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අවධාරණය කළේය .

ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ හිමාල දේශසීමාවේදී ඉන්දු - චීන හමුදා අතර ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මියයාම සිහිපත් කරමිනි. හිමාල දේශසීමාවේදී සිය රණවිරුවන් දිවිපිදීම නිෂ්ඵල නොවනු ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් අවධාරණය කළේ ය . රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවන්ට සහ එම පවුල්වලට තමා සිය ශෝකය සහ උපහාරය දක්වන බව ද අගමැති මෝදි ප්‍රකාශ කළේ ය. ඉන්දීය හමුදාව ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ චීන හමුදා ප්‍රහාරවලින් සිය කර්නල්වරයකු මියගොස් ඇති බවයි. තවත් සෙබළුන් 17 දෙනෙකු බරපතළ තුවාල ලැබු බව ද එහි සදහන්  විය. ඉකුත් සතියේ ඉන්දියාව සහ චීනය දෙරටේ දේශ සීමා සම්බන්ධයෙන් එලඹි එකඟතාවය කඩකරමින් චීනය මෙම ප්‍රහාරය එල්ල කළ බවට ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කළේය . ඉන්දියාව පවසන්නේ චීනය , ලඩක් හි ගාල්වාන් නිම්නය වෙත සෙබළුන් දහස් ගණනක් යවා ඇති අතර ඔවුන් , වර්ග කිලෝමීටර් 38 000 භූමි ප්‍රදේශයක ස්ථානගත කර ඇති බවයි . එළැඹි එකඟතාවයට ප්‍රකාරව එම ප්‍රදේශයෙන් චීන සෙබළුන් ඉවත්වීමට නියමිතව තිබියදී මෙම ගැටුම් හටගත් බව සඳහන් වේ. කෙසේ වෙතත් චීනය පවසන්නේ ඉන්දීය සෙබළුන් දේශසීමාව හරහා සිය පාලන ප්‍රදේශයට ඇතුළුවීම ගැටුමට මුල්වූ බවයි. හිමාල දේශසීමා අතර දෙරටේ ආරක්ෂක අංශ අතර මෙවැනි ගැටුමක් හටගත්තේ වසර 45 කට පසුවයි. ඉකුත් සති කිහිපය තුළ ඉන්දියාව සහ චීනය අතර නොසන්සුන්තා වර්ධනය වෙමින් පවතින පසුබිමකදී මෙය වාර්තා වේ . දෙරට අතර පවතින දේශසීමා අර්බුද, ඉකුත් දශක තුනක කාලය තුළ සිදුකෙරුණු සාකච්ජාවලින් ද විසඳිය නොහැකි විය. මෙම තත්ත්වය ඉන්දියාවේ චීන විරෝධී ආකල්ප උත්සන්න කිරීමට මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විදේශ ප්‍රතිපත්තියට සහ ආරක්ෂක ප්‍රතිපත්තීන්ට දැඩි අභියෝග එල්ලකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දීය හමුදාව සඳහන් කළේ,  සිය භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සුරැකීමට කැපවන බවයි . චීනය කියා සිටියේ ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකරගැනීමට අවශ්‍ය නැති නමුත් තමන් එවැනි දෙයකට වුවත් බිය නොවන බවයි . සිය සංයමය, දුර්වලතාව ලෙස වරදවා වටහා නොගන්නැයි ද චීනය ඉන්දියාවට අනතුරු අඟවා සිටී.