පසුගිය කාලයේ රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වූයේ ඇයි ?

by Staff writer 16-06-2020 | 5:57 PM

COLOMBO (News 1st) - පසුගිය සමයේ රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වූයේ, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සර්ට්) උපදෙස් නිසි පරිදි, නිසි වේලාවට ක්‍රියාත්මක නොකළ නිසා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසූවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ගුවන් හමුදා සයිබර් අපරාධ මැඩලීමේ අංශය එක්ව සයිබර් අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාකරන බවයි. මේ අතර මෙම මධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද පරිගණක අපරාධ මැඩලීම සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළේ ය. ඔහු පැවසුවේ, පරිගණක අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ප්‍රධාන ආයතනය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ අංශය තවදුරටත් පුළුල් කර ඇති බවයි. පරිගණක අපරාධ පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාඛා දෙකක් මහනුවර සහ මාතර පිහිටුවා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පරිගණක අපරාධ පිළිබඳ පනතේ යම් යම් සංශෝධන කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.