සමාජ මාධ්‍යයේ චෝදනාවලට ආරක්ෂක ලේකම් පිළිතුරු දෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හැර වෙනත් කිසිදු අයෙකු පාලනය කිරීමට අවශ්‍ය නැහැ - ආරක්ෂක ලේකම්

by Chathuranga Rajapaksha 16-06-2020 | 3:49 PM

COLOMBO (News 1st) - ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටින නිලධාරියෙකු හැර වෙනත් කිසිදු නිලධාරියෙකු පාලනය කිරීමට තමාට අවශ්‍ය නොමැති බවත් ඒ සඳහා බලයක් ද නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජනාධිපති කාර්ය සාධන බලකායන් හරහා රාජ්‍ය නිලධාරීන් පාලනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා ඒ බව සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ, ආරක්ෂක අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු එහිදී තවදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිතුමා පත් කළ කාර්ය සාධන බලකා දෙක පිළිබඳ විවිධ මත පළ වූ බවය. නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් එහි පළමු කාර්ය සාධන බලකාය ජනාධිපතිතුමා විසින් පත් කළ බව කමල් ගුණරත්න මහතා සඳහන් ක‍ළේය. එහි ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වීමට ඉඩ දී බලා සිටිය නොහැකි බව ද ඔහු කියා සිටියේය. පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ආදිය බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක බැවින් එය ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට දෙවන කාර්ය සාධන බලකාය සකස් කළ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. මේ අතර ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මෙරට පළමු කොරෝනා ආසාදිතයා හමු වූ මාර්තු 08වැනිදාට දින 40කට පෙර කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය කමිටුව ජනාධිපතිතුමා විසින් පත් කළ බව ය. අප්‍රේල් 30වැනිදා සිට මේ දක්වා සමාජයෙන් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති අතර සියලුම රෝගීන් වාර්තා වූයේ නාවික හමුදාවෙන් සහ පිටරට සිට පැමිණි පුද්ගලයින් බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. https://www.facebook.com/NewsfirstSL/videos/589575995026471/