අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරයි 

අර්ජුන් මහේන්ද්‍රන් අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ගනී - නීතිපති දෙපාර්තමේන්තුව 

by Chathuranga Rajapaksha 16-06-2020 | 10:35 AM

COLOMBO (News 1st) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස්කර ඇති බවට ජාත්‍යන්තර පොලීසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා අද මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා දැනුම්දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරගෙන ඇතැයි ජාත්‍යන්තර පොලීසිය වාර්තා කර ඇති බවයි. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මෙම දැනුම්දීම කළේ ය. හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකරුවායි. සිංගප්පුරුවේ ජීවත්වන ඔහු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය,, සිංගප්පුරු රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරු ලෙස ජාත්‍යන්තර පොලීසිය,, මෙලෙස නම වෙනස් කිරීම පිළිබඳව දැනුම්දී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසී ය. නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මේ වන විට සිංගප්පුරුවේ වාසය කරන්නේ යැයි කියන අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යවන ලෙස ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව අජහාන් ගාර්දිය පුංචිහේවා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 18 වැනිදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව, විනිසුරු මඩුල්ල නියෝග කළේ, බැඳුම්කර නඩුව ලබන නොවැම්බර් 17 වැනිදා යළි කැඳවන ලෙසයි. සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1346446048880015/