COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් අද අතරමග නවතා දැමීමට සිදුවිය.
ඊට හේතුවූයේ මැතිවරණ නීති කඩවන බවට නිලධාරීන් පැමිණ කළ දැනුම්දීමයි.
විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් 360 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා මෛත්‍රීපාල සිරිසේන පදනම පුලතිසි බුද්ධිමණ්ඩපයේදී උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබුණි.
නමුත් මැතිවරණ නිලධාරීන් පැමිණ දැනුම්දී තිබුනේ, හිටපු ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු ලෙස මෙවැනි උත්සවයකට සහභාගිවීම මැතිවරණ නීතිවලට අනුකූල නොවන බවය.
හිටපු ජනාධිපතිවරයා උත්සවයට පැමිණියත් මැතිවරණ නිලධාරීන් කළ දැනුම්දීම අනුව ඊට සහභාගිවීමට නොහැකි බව රැස්ව සිටි පිරිසට දැනුම්දී පිටව ගියේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මම මේ ස්ථානයෙන් පිටව යනවා. ඔයාලට දෙන්න තිබුණු තෑගි, තිළිණ සහ සහතිකපත් මෙතනින් ඉවත් කරගෙන යනවා. ඉතා වටිනා ත්‍යාග සහ තිළිණ ප්‍රධානයක් කිරීමටයි මම මේ වැඩසටහන යොදා ගෙන තිබුනේ. නමුත් මේකට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනව. මැතිවරණ කොමිසමේ නිලධාරි මහත්වරු පැමිණ තිබෙනවා මෙම ස්ථානයට. ඒ අනුව මෙය පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකියි කියලා එතුමන්ලා දන්වා තිබෙනවා. මම කිසිසේත්ම නීතියෙන් පිටස්තර දෙයක් කරන්නේ නෑ. ඉතාම කණගාටු වනවා මේ දරුවන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව. අගෝස්තු 5 වැනි දායින් පසුව ඔය දරුවන්ට ගෙවල්වලට සහතිකත් තිළිණත් සියල්ලම එවනවා. මම හිටපු ජනාධිපතිවරයෙක් විදියට කිසිසේත්ම නීතියෙන් පිටස්තරව කටයුතු කරන්නේ නෑ. මට හුඟක්ම මේ කණගාටු මේ දරුවෝ අද දිස්ත්‍රික්කයේ හැමතැනම ඉඳලා ආපු පිරිසක්. ඉතින් දරුවනේ කණගාටු වෙන්න ඒපා. ධෛර්යමත් වෙන්න.
කෙසේවෙතත් අදාළ උත්සවයට පැමිණි ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැමිණ සිටි දූ දරුවන් ඇමතුවේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/286560596083691/