බූස්ස ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිටින් T56 උණ්ඩ 5ක්

බූස්ස බන්ධනාගාර ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිටින් T56 උණ්ඩ 05ක් සොයා ගනී

by Staff writer 15-06-2020 | 6:45 PM

COLOMBO (News 1st): බූස්ස බන්ධනාගාරයේ පළමු පෙළ ජේලර්වරයෙකුගේ නිවසේ ඉදිරිපස පඩිය මත තබා තිබූ T56 ජීව උණ්ඩ 05ක් අද උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, බූස්ස, පන්සල පාර පදිංචි මෙම ජේලර්වරයාගේ නිවස ඉදිරිපිට තිබී සොයාගත් මෙම උණ්ඩ 5න් 4ක එම ජේලර්වරයාගේ නම ලියා තිබූ බවය. සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා රුවනි ගුරුසිංහ මහත්මිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කරනු ලැබූ අතර නිල සුනඛයින් ද ගෙන ගොස් පරීක්ෂා කර තිබේ. පසුගිය 06වැනි දා බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන 2ක්, සිම් කාඩ් පත් 2ක්, දුරකතන චාර්ජරයක් සහ හැන්ඩ්ස්ෆ්‍රී ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැනිණි. අදාළ වැටලීම සඳහා මෙම ප්‍රධාන ජේලර්වරයා ද සිය පූර්ණ දායකත්වය ලබා දී තිබූ අතර ඔහු බූස්ස බන්ධනාගාරයේ මෙවැනි වැටලීම් රැසකටම දායක වූ අයෙකි. ජීව උණ්ඩ රත්ගම පොලිස් භාරයට ගෙන ඇති අතර මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ තිබී අද පෙරවරුවේ ජංගම දුරකතනයක් සොයා ගැනිණි. තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, එම අවස්ථාවේ රාජකාරි පැහැර හැරි බන්ධනාගාර නියමකවරයාගේ සේවය අත්හිටුවා ඇති බවය. අදාළ රැඳවියා ජීවිතාන්තය දක්වා සිරදඬුම් විඳින සිරකරුවෙකි. ඔහු බන්ධනාගාරය තුළ සිට වෙනත් පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගැනීම සඳහා මෙම ජංගම දුරකතනය භාවිත කර ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. තව ද වාරියපොල බන්ධනාගාරය වෙත සූක්ෂම ලෙස රැගෙන යමින් තිබූ නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු ගනේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී ස්මාර්ට් ජංගම දුරකතන 05ක්, චාර්ජර් 05ක්, හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 5ක්, දුම්කොළ ග්‍රෑම් 2ක් මෙන්ම මත්පැන් බෝතලයක් සිය භාරයට ගත් බවය. ඉතා ආරක්ෂිත ලෙස ඇසුරුම් කළ එම උපකරණ වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිටවන ඇළට දැමීමට සැලසුම් කර තිබූ බව සැකකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පළා යෑමට තැත් කළ බවය. පසුව සැකකරු සහ පොලීසිය අතර පොර බැදීමක් සිදුව ඇති අතර සැකකරු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය. 25 හැවිරිදි  සැකකරු පන්සියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.