by Staff writer 15-06-2020 | 9:03 PM
COLOMBO (News 1st) - තුම්මුල්ලේ රිය අනතුරෙන් මිය ගිය රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පොළොන්නරුව සෙවනගල, ගිනිදමන ප්‍රදේශයේ පිහිටි නිවසට අද රැගෙනවිත් තිබේ.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම මහතා මිය යන විට වයස අවුරුදු 22 කි.
වසර දෙක හමාරකට පෙර පොලිස් සේවයට බැඳුණු ඔහු ප්‍රකට වූයේ පසුගිය දා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 මුදල් කොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට මූලිකවීමෙනි.
අප වාර්තාකරු පැවසුවේ, කොස්තාපල්වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගම්වැසියන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවය.
පසුගිය 11 වැනි දා රාත්‍රියේ තුම්මුල්ල මංසන්ධියේදී ඩිෆෙන්ඩර් රථයක්, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ අලහප්පෙරුම මහතා සහ තව ත් පොලිස් නිලධාරියෙකු ගමන් කළ යතුරු පැදියේ ගැටුණි.
අනතුර සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළිත් කරුණු විමසූ අතර සැකකාර රියැදුරු ලබන 19 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
නීති සිසුවෙකු වන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන්නේ ඔහු මේ වනවිට දුම්බර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රඳවා සිටින බවයි.
ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙය හිතාමතා කළ අනතුරක් නොව ස්වාභාවිකව සිදු වූ අනතුරක් බවයි.
තම සේවාදායකයා විසින් මියගිය පොලිස් කොස්තාපල්වරයාට හා තුවාල ලැබූ පොලිස් නිලධාරියාට සාධාරණ වන්දියක් ගෙවීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
පොලීසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඔහු කියා සිටියේ, තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවමත් ප්‍රතිකාර ලබන බවය.
https://www.facebook.com/NewsfirstSL/videos/598958107396120/