ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු දායක විය යුතුයි

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු දායක විය යුතුයි - ජනපති

by Staff writer 15-06-2020 | 8:18 PM

COLOMBO (News 1st) - බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය සඳහා අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. 2015 වර්ෂයට පෙර සියයට 7 ත් 8 ත් අතර අගයක පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට සියයට 02 දක්වා පහළ ගොස් ඇතැයි ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කොවිඩ් වසංගතයත් සමඟ බිඳ වැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් පහළ ගොස් ඇති බවය. එම කරුණු වටහා ගනිමින් රටේ ආර්ථික පුනරුදය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඉලක්කම් 02 ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බවත්, එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාවය ජනාධිපතුමා පෙන්වා දී ති‍බේ. බිඳ වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ, ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බවය. දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් කරන එම කටයුතු සඳහා බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.