පාසල් ළමුන් ලක්ෂ 12 කට පෝෂණ මල්ලක්

පාසල් ළමුන් ලක්ෂ 12 කට වියළි සලාක ඇතුළත් පෝෂණ මල්ලක්

by Staff writer 14-06-2020 | 9:17 AM

COLOMBO (News 1st) - පාසල් දිවා ආහාර ව්‍යාපෘතියට අයත් පාසල් ළමුන් ලක්ෂ 12 කට වියළි සලාක ඇතුළත් පෝෂණ මල්ලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ, පාසල් නොපැවැත්වූ පසුගිය මාස කිහිපය වෙනුවෙන් පමණක් අදාළ දරුවන්ට එම පෝෂණ මල්ල ලබා දෙන අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුව දිවා ආහාරය ලබා දෙන බවය. කලාප අධ්‍යාපන කාර්යාල හරහා අදාළ දරුවන්ගේ නිවෙස් වෙත එම පෝෂණ මල්ල ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය. මේ අතර සියලු පාසල් සඳහා රුපියල් 15,000 ක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබේ. ඒ, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල්වල ගිලන් කාමරක් ස්ථාපිත කිරීම සඳහාය. ලේකම්වරයා පැවසුවේ, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සියලු උපදෙස් විදුහල්පතිවරුන් වෙත දැනුවත් කර ඇති බවයි.