COLOMBO (News 1st) – දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ වෙරළට දැමූ වැලි යළි මුහුදට සෝදාගෙන යාමත් සමග ය.
කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් මේ යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කෙරිණි.
සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 890 කි.
මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණේ ඩෙන්මාර්කයේ සමාගමකට ය.
වෙරළට දැමූ වැලි මුහුදට ගසාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පල කළ පාර්ශව ගණනාවක් පෙන්වා දුන්නේ අනවශ්‍ය මෙය මුදල් නාස්තියක් බවයි.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගියදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ලිලානි රුහුණගේ මහත්මිය මෙලෙස තාක්ෂණික පැහැදිලි කිරීමක් කළාය.
බටහිර වෙරළ තීරයේ වැලි ප්‍රවාහය තියෙන්නෙ උතුරු දෙසට. එක ප්‍රදේශයකට විතරක් වැලි ගහලා ඒවා ක්‍රමයෙන් ඛාදනයවන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි නිර්මාණය කළේ. අඟුලාන ප්‍රදේශයට අපි වැලි ගැහුවේ රත්මලාන වෙඩිකන්ද සහ ඒ ප්‍රදේශවල තමයි වෙරළ ඛාදනය තිබුණේ. ඒ වැලි උතුරු දෙසට ගිහිල්ලා ඛාදන තත්ත්වය අඩුවෙලා තියෙනවා. ඒ එක්කම වෙරළ තීරය නිර්මාණය වීමකුත් අපිට දකින්න ලැබෙනවා.
වැලි යෙදූ ස්ථානවලින් උතුරු දෙසට ඒවා ගොස් වෙරළ පෝෂණය වීම යන මතය සම්බන්ධයෙන්ද විචේචන එල්ල විය.
පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා
පැහැදිලිවම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් පරිසර ඇගයීම් වාර්තාවක් සිදු කළේ නැහැ කියන එක. දැන් අලුත්ම එක තමයි මෙම වැලි උතුරට කිලෝමීටර 15 උතුරේ වෙරළට යන්නේ කියන එක. ගල්කිස්ස කියන්නේ බොක්කක්. ඒවා අපිට ඕනේ විදිහට පාලනය කරන්න බැහැ. බොක්කක් කියන්නේ මුහුදට යන්නේ නැහැ ඇත්තටම.
ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ සිදු කළ වැලි යෙදීම් පෙර ක්‍රියාත්මක කළ උණවටුන හා කැලිඩෝ ව්‍යාපෘති හා සංසන්ධනය කළ නොහැකි බවද සමන්ත ගුණසේකර මහතා පවසයි.
පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා
උණවටුන පරිසර ඇගයීම් වාර්තාවක් අනුව කරපු එකක්. කැලිඩෝ එකත් එහෙමයි. ඒකත් හදිසියේ කරපු එකක් නෙවෙයි. ඒ සම්බන්ධ අධ්‍යන වාර්තා. සාකච්ඡා වට ගණනාවක් තිබුණා. නමුත් මේ සිද්ධියේදී එහෙම එකක් නැහැ. දැන් මේ තුනම එකට අමුණන්න හදනවා.
පරිසරවේදී සජීව චාමිකර මහතා
2017 වසරේදී කළු ගල් යොදලා ඒ කලාපය උපාය මාර්ගිකව ගොඩනගන්න කැබිනට් අනුමැතිය හා අයවැයෙන් රුපියල් මිලියන 1240 ක මුදලක් වෙන්කළා. නමුත් අද ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල රහිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද වනවිට නැවතත් රුපියල් මිලයන 889ක් වෙන් කරමින් වැලි යෙදවීම සිදු කළා. ගල් වැටි යෙදීම අසාර්ථක වෙලා තියනවා. වැලි යෙදෙව්වා ඒකත් අසාර්ථකයි.මේ තත්ත්වය හමුවේ අද අපේ රටේ විශාල මුදලක් වැය කරලා තියනවා. අපේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට වෙන් කරන්න තියන මුදල් මහා පරිමාණ වශයෙන් අපතේ යාමක් සිද්ධ වෙනවා.
මහජනතාවට ප්‍රතිලාභ අත් නොවෙන මේ අසාර්ථක ව්‍යාපෘතිය සිදු කළේ කොමිස් ගැසීමේ අරමුණකින්ද?
එසේ නම් කොමිස් ගත්තේ කවුද?