අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුනු, ඊතල භාවිත කළ බවට පැරණිතම සාක්ෂි ශ්‍රී ලංකාවෙන්

by Sagarika Chathumali 13-06-2020 | 10:03 AM
COLOMBO (News 1st) Update 7.20PM : අද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර වෙන්න පුළුවන් දිනයකි. ඒ, මීට වසර 48,000කට පමණ පෙර අප රටේ ජීවත් වූ මානවයා සතුව තිබූ තාක්ෂණය පිළිබඳව වාර්තාවක් ජාත්‍යන්තරයට යාමත් සමගිනි. අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුන්න හා ඊතල භාවිත කළ බවට පැරණිතම සාක්ෂි හමුවන්නේ ශ්‍රී ලංකාවෙන් ය. මේ ආන්දෝලනාත්මක පුවත ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය ජාලා හරහා ද මේ වනවිට වාර්තා වේ. පාහියංගල ලෙන් ගුහාවෙන් හමුවූ සත්ත්ව ඇටකටු ආශ්‍රිතව කළ මෙම අධ්‍යනය සඳහා සම්බන්ධ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමකි. අද එම වාර්තාව තොරතුරු සාධක සහිතව ලොව ඉදිරිපෙළ පර්යේෂණ සඟරාවක් වන සයන්ස් සගරාව ඔස්සේ ඉදිරිපත් කෙරිණි. වසර 48,000 කට පෙර මානවයා දුනු, ඊතල භාවිතය පිළිබඳ නවතම සොයාගැනීම් මෙම වාර්තාවට ඇතුළත් ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍ය‍ෙෂ්ඨ මහාචාර්ය එම්. එම්. පත්මලාල් මහතා
ඉතාමත්ම සාක්ෂි සහිතව දුනු ඊතල ඒ වගේම විවිධ මෙවලම්, උපකරණ භාවිතා කිරීම සහ ඒගොල්ලන් එම පරිසර පද්ධතිය තුළ නිරුපද්‍රිත විම සදහා පාවිච්චි කරපු ක්‍රමෝපායන් මෙම පරීක්ෂණය තුළින් අපි ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා. ඒ වගේම කොහොමද මාළු ඇල්ලීම සිදුකළේ, ඒ වගේම ඒගොල්ලන්ගේ ආහාරය සඳහා සතුන් මරා ගැනීම සිදුකෙළේ. ඒත් එක්කම ඒගොල්ලන් කොහොමද ටෙක්නොලොජි , තාක්ෂණය පාවිච්චි කරලා මෙවලම් නිශ්පාදනය කළේ, වැඩිදියුණු කළේ කියන එක මෙම කෘතිය තුළ පැහැදිලිවම සඳහන් වෙනවා.
ව්‍යාපෘතිය සඳහා දායක වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
පසුගිය 2006 වසරේ සිට 2012 වසර දක්වා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලැබුවාවූ පාහියංගල ප්‍රාග් ඓතිහාසික කැණීම් ව්‍යාපෘතියේ ප්‍රථිපල නෙලා ගැනීමට අපිට අවස්ථාව ලැබිලා තියනවා මේ වෙනකොට. ඇත්තටම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ භාවිතය පිළිබඳ අවධානය යොමු කරොත් එහෙම ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සරි කරගනු ලබන්නේ දුනු ඊතල තාක්ෂණය. මේ දුනු ඊතල කොහොමද ආදිවාසීන්ගේ අතට ආවේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තිබුණා. ඉතින් අපිට පුළුවන්කමක් ලැබුණා මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වලා මේකට විද්‍යානුකූල වූ පිළිතුරක් ලබාදෙන්න.
පාහියංගල කැණීම් සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් 2009 වර්ෂයේදී ද වාර්තා කළේ ය. මෙම විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී වාර්තා කිරීමට අපි බලාපොරොත්තු වෙමු..!   https://www.facebook.com/NewsfirstSL/videos/567816660547073/
COLOMBO (News 1st) : අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුන්න සහ ඊතල තාක්‍ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. මෙම සාක්ෂි හමුවී ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් පාහියන් ලෙන් ගුහාවෙන් හමුවූ සත්ත්ව ඇටකටු ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යනයකිනි. ඒ අනුව තහවුරු වී ඇත්තේ, මීට වසර 48,000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර දඬයම් සිදු කර ඇති බවයි. අදාළ අධ්‍යනයට අනුව මෙරට ආදි මානවයා මෙම මෙලවලම් භාවිත කරමින් වැසි වනාන්තරයේ විශේෂයෙන් වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කිරීමට සමත්ව තිබීම  පර්යේෂක කණ්ඩායමේ ද විමතිය දනවන්නක් වී තිබේ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ, නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල , එම්. එම්. පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා සහ පැට්‍රික් රොබට්ස් යන පළපුරුදු පර්යේෂකයින් කණ්ඩායම විසිනි. දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද  ලෙස සැලකෙන පාහියන් ලෙන් ගුහාවෙන් පසුගිය වසරේදී  වඳුරන්ගේ සහ ලේනුන්ගේ මෙම ඇටකටු සොයා ගැනිණ. තව ද මෙම සොයා ගැනීම සැලකෙන්නේ, මීට වසර 20,000 කට පමණ පෙර යුරෝපයේ තිබූ දුනු හා ඊතල තාක්‍ෂණය පිළිබඳ සාක්ෂි පුරෝකථනය කරන්නක් ලෙසයි. පර්යේෂණ වාර්තාව පහතින්.... Bows and arrows and complex symbolic displays 48,000 years ago in the South Asian tropics  

Image Credit : Max Planck Institute