පෙරහැර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

පෙරහැර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

by Staff writer 12-06-2020 | 5:44 PM

COLOMBO (News 1st) :  සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍ය ස්ථානවල හා දේවාලවල මෙවර පෙරහැර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දී තිබේ.

මහනුවර දළදා මාළිගාව, කතරගම, දෙවිනුවර සහ සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහැර COVID-19 මර්දනයට සහයවෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. වාර්ෂික පෙරහැර මෙවර සංවිධාන කළ යුතු ආකාරය පිළිබඳව COVID-19 මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේ ය. මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහැරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබේ. යාපනයේ නල්ලූර්, ත්‍රීකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහැරට පැමිණෙන පිරිසට ද මෙවර අවසර නොමැත. සියලු පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහැරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණි. දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළ යුතුය. දළදා පෙරහැරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැළසුම් කර ඇතැයි සඳහන් කෙරිණි. ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරු සාකච්ඡාවට එක්ව සිටියහ. https://youtu.be/zmFFNt9_oZU