නිදහස් චතුරශ්‍රය අසල මියගිය පුද්ගලයා හඳුනා ගනී

නිදහස් චතුරශ්‍රය අසල මියගිය පුද්ගලයා හඳුනා ගනී: දිවි නසා ගැනීමක්දැයි සැකයක්..

by Staff writer 12-06-2020 | 7:49 PM

COLOMBO (News 1st) :  අද උදෑසන බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවී තිබුණේ කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ තිබී හමු වූ මළ සිරුර පිළිබඳව ය.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති අතර මරණය සියදිවි හානිකර ගැනීමක් යැයි පොලීසිය පවසයි. කඩින් කඩ වැසි පැවති අද උදෑසන කොළඹ නගරයේ නිදහස් චතුරශ්‍රය අසළ ඇති උද්‍යානයේ ගසක් අසළ තිබී මළ සිරුර හමුවී තිබුණි. පෙරවරු 7.00 ට පමණ එය මුලින්ම දැක තිබුණි. මියගිය පුද්ගලයා 64 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි රජීව ප්‍රකාශ් ජයවීර ලෙස හඳුනාගෙන තිබේ. සිරුර සොයා ගන්නා අවස්ථාවේ කුඩා පිස්තෝලයක් ද සිරුරට යටවී තිබූ අතර එය කර වටා තිබූ කුඩා පටියකින් රඳවාගෙන තිබුණි. සිරුරේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ අතර වෙඩි වැදුණු සළකුණක්ද දක්නට ලැබුණි. අද දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර මූලික විමර්ශන අවසන්වීමෙන් පසුව සිරුර මෘත ශරීරාගාරයට රැගෙන ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
අනාවරණය වුණා එම තැනැත්තා වැටී තිබූ ස්ථානයේ කුඩා මෛක්‍රෝ වර්ගයේ පිස්තෝලයක් තිබුණු බව ඒ වගේම ඔහුගේ හැඳුනුම්පත තිබුණා. ඒ අනුව කළ විමර්ශනවලදී අනාරවණය වුණා ඔහුගේ සහෝදරයෙක් වෙත යවන ලද ලිපියක්. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙන කරුණු අනුව ඔහු යම්කිසි ආබාධයකින් පෙලෙන බවත්, අනෙකුත් කරුණු අනුව ඔහු සියදිවි නසා ගැනීමට තීරණය කළත් , ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මිලදී ගැනීම සම්බන්ධයෙනුත් තොරතුරු ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දිනයේදී මේ පණිවිඩය ලැබුනයින් පස්සේ ඔහුගේ සහෝදරයා විසින් මෙම පුද්ගලයා සොයා ගැනීමට උත්සාහ කර තිබෙනවා. නමුත් එය සාර්ථක වී නැහැ. ඒ අනුව ඔවුන් බම්බලපිටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තිබෙනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ප්‍රංශයේ පැරිස් නගරය ඇතුළු ස්ථාන කිහිපයක සේවය කර ඇති රජීව ප්‍රකාශ් ජයවීර මහතා පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයකට ලිපි සම්පාදනය කළ අයෙකි. මහා පරිමාණ වංචා දූෂණ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේද ඔහු සාක්ෂි ලබාදී තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය පරිදි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.එම්.එල් ද සිල්වා මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කළා. ඒ වාර්තාව දැනට ලැබී තිබෙනවා . තාවකාලික වාර්තාව. ඒ වාර්තාව අනුව මෙම මරණය වෙලා තියෙන්නේ මුඛය තුළින් ඇතුළු වූ පොයින්ට් ටූ ටූ වර්ගයේ උණ්ඩයක් මගින් ඇතිවූ තුවාල හේතුවෙන් කියන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒත් එක්කම අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් වාර්තා කරලා තියෙනවා ඔහුගේ ශරීරයේ වෙනත් කිසිදු තුවාලයක් නොමැති බවත් වෙනත් පාර්ශ්වයක් විසින් කරන ලද එවැනි කිසිදු තුවාලයක් නිරීක්ෂණය නොවන බවත් . දැනට මේ මරණය සියදිවි නසාගැනීමක් බවට විශ්වාස කරනවා. නමුත් මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වෙන තෙක් ස්ථිර තීන්දුවක් ලබාදීමට හැකියාවක් නැහැ . ප්‍රශ්නය - ඒ අවට ප්‍රදේශයේ CCTV දර්ශන ලැබිලා තියෙනවද ?
පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගේ පිළිතුර -
දැනට අපි ඒ අවට ප්‍රදේශයේ CCTV දර්ශන ලබාගෙන තිබෙනවා. දර්ශන නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් තාම අපිට ඔහු පැමිණි ආකාරය ගැන දර්ශන හෙලිදරව් වෙලා නැහැ.
රජීව ප්‍රකාශ් ජයවීර මහතාගේ සිරුර අද පස්වරුවේ ඥාතීන්ට භාරදී තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/563453307651472/