චීන තානාපති කාර්යාලයට දැඩි රැකවල්

විරෝධතා සූදානමක් හේතුවෙන් චීන තානාපති කාර්යාලයට දැඩි රැකවල්

by Staff writer 10-06-2020 | 9:17 PM

COLOMBO (News 1st) - ඇමරිකානු අධිරාජ්‍යවාදය හෙළා දකිමින් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් ඊයේ පොලීසිය මැදිහත්වී විසුරුවා හැරියේය.

මේ අතර, අද තවත් පිරිසක් චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සැළසුම් කර තිබුණි. නමුත් එය පැවැත්වීමට නොහැකි වුණේ,  පොලීසිය මැදිහත්වී ලබාගත් අධිකරණ නියෝගයක් හේතුවෙනි. කොරෝනා ලෝකය පුරා ව්‍යාප්තවූයේ චීනයේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ද නිහඬ විරෝධතාවක් පැවැත්වීම සූදානම්කර තිබුණි. එහෙත් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ කුරුඳුවත්ත පොලීසිය මෙම විරෝධතාව වළක්වන අධිකරණ නියෝගයක් ලබා ගත්තේ ය. අධිකරණ නියෝගයේ සඳහන් වන්නේ Covid19 රෝග ව්‍යාප්තවීමේ අවදානම් තත්ත්වය යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියට අනුව මෙම විරෝධතාව වහාම වැළැක්විය යුතු බවයි. ඒ අනුව, අද උදෑසන පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාවට යොදවා තිබුණි. කෙසේ වෙතත් සැලසුම් කළ විරෝධතාව අද පැවැත්වූයේ නැත.