BREAKING : මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා

BREAKING : මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා

by Staff writer 10-06-2020 | 2:44 PM
COLOMBO (News 1st) :2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගොස්තු 05 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කොමිසම රැස්වී ඒකමතිව ගත් මෙම තීරණය නිවේදනය කළේ ය.
''ජුනි මස 20 වෙනි දිනයට නියමවී තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අප තිදෙනා විසින් ඒකමතිකව තීරණය කරලා. ගැසට් නිවේදනය දැන් අත්සන් කර එය රජයේ මුද්‍රණාලාධිපති වෙත යැවු බව මෙයින් නිවේදනය කරනවා''
සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකයින්ගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවයි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ අදහස් පළ කරමින් පැවුසවේ, ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දෙනා වගකිව යුතු බවයි.
''පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කළේ වත් තිබ්බෙ නැත්තේ වත් අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව පනත් සම්මත කරලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ යෝජනාවක්වත් නොදා නොකර ඉදලා. සියලු දෙනාම වගකියන්න ඕන පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අපි නවෙයි. පලාත් පාලන ආයතන පරක්කු කිරිමත් අපි කතා කරේ නැත්තම් අපි ඒ 93 වත් ගැසට් කරේ නැත්නම් අදත් නඩුව යනවා තවමත් එහෙනම් ඡන්ද විමසීම නෑ''
මැතිවරණ කොමිසම ඉදිරිපිට රැස්වී සිටි පිරිස හමුවට අද උදැසන පැමිණි කොමිසමේ සභාපතිවරයා පළවන ඇතැම් වාර්තා පිළිබඳව අප්‍රසාදය පළ කළේ ය.
''කරුණාකරලා මේ මැතිවරණ කොමිසම විහිළුවක් කරන්නෙපා. ඕගොල්ලොන්ගේ මීඩියා වලට මම කියනවා. කරුණාකරලා ඕගොල්ලෝ තේරුම් ගන්න. මේවා මේ හැංගිලා කරන වැඩ නෙවෙයි නේ. මං පාරෙන් එනකොට මේ පැත්තෙන් එනවා අර ගෙට්ටුවෙන් එනවා. ඇයි ඒ? කරුණාකරලා හිතන්න ඔයාලා රස්සාවක් කරනවා වගේ අනිත් අයත් රස්සාවක් කරන්නේ ඕගොල්ලන්ගේ රැකියාටව තියෙන ගෞරවයම අනිත් අයටත් තියෙනවා කියලා හිතන්න.හැංගිලා ඇවිල්ලා අපි කිසි දෙයක් කරනිනේ නෑ.ආයෙත් එහෙම වැඩක් කරනකොට''
මැතිවරණ කොමිසම අපේ ව්‍යවස්ථාවෙන්ම ඇති කළේ, ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණිනි. අභියෝග රැසක් මැද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් දැන් මැතිවරණයට දින නියම කර තිබේ. ජනතාවගේ ආරක්ෂාවත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් සුරක්ෂිත කරමින් කොමිසම ගත් මේ පියවර රටේ ජනතාව නිසැකවම අගය කරනු ඇති.   https://www.youtube.com/watch?v=RfD-0WB_6bo&feature=youtu.be