බන්ධනාගාර 4 ක හදිසි සෝදිසි මෙහෙයුම්...

බන්ධනාගාර 4ක හදිසි සෝදිසි මෙහෙයුම්: ජංගම දුරකතන 82ක්, සිම් 55ක් සොයා ගනී

by Staff writer 10-06-2020 | 12:20 PM

COLOMBO (News 1st) - මීගමුව, කොළඹ, බෝගම්බර සහ බූස්ස බන්ධනාගාරවල සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 82 ක්, සිම් කාඩ්පත් 55 ක්, බැටරි සහ චාජර් රැසක් සොයා ගෙන තිබේ.

ඒ, බන්ධනාගාර නිලධාරීන් ඊයේ පෙරවරුවේ කළ මෙහෙයුම්වලිනි. මීගමුව බන්ධනාගාරයේ සිරකුටිවල තිබී ජංගම දුරකතන 61 ක්, සිම් කාඩ්පත් 51 ක්, බැටරි 71 ක්, චාජර් 30 ක්, හෙරොයින් ග්‍රෑම් 16 ක් සහ ගංජා ග්‍රෑම් 2 ක් සිය භාරයට ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන දෙකක්, බෝගම්බර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 4 ක්, මැගසින් බන්ධනාගාරයෙන් දුරකතන 12 ක්, බූස්ස බන්ධනාගාරයෙන් එක් බැටරියක් සහ ජංගම දුරකතන 3 ක්, සිම් කාඩ්පත් 4 ක්, බැටරි 4 ක් සහ එක් දුරකතන චාජරයක් ද බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බූස්ස බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුම බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව සිදු කළ බවය.