''අමෙරිකානුවා රටට ආවේ ලක් රජයේ අනුමැතිය ඇතිවයි''

''ප්‍රශ්නගත අමෙරිකානුවා රටට ආවේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිවයි''- අමෙරිකානු තානාපති කාර්යාලය

by Staff writer 10-06-2020 | 9:05 PM
COLOMBO (News 1st) : PCR පරීක්ෂණය නොකර මෙරටට පැමිණි ප්‍රශ්නගත ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා පැමිණ ඇත්තේ විදේශ සබඳතා අමාත්‍යංශයේ සියලු අවසර ලබා ගැනීමෙන් පසුව බව ඇමරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි. ඔහු මෙරටට පැමිණියේ ජුනි 5 වැනිදා සංශෝධනයවූ සෞඛ්‍ය රෙගුලාසි සියල්ල අනුගමනය කරමින් බව අමෙරිකානු තානාපති කාර්යාලය නිවුස් ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ය. තානාපති කාර්යාලය පවසන්නේ මේ වනවිට එම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර ඊයේ විරෝධතාව පිළිබඳව ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලීස් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කළේ, තානාපති කාර්යාලය ඉදිරිපිට වරෝධතාව ශ්‍රී ලංකා රජය වැළැක්වූයේ කොවිඩ් 19 තත්ත්වය තුළ රැස්වීමට ඇති සීමාවන් යටතේ බවයි. අමෙරිකානු රජට සුළුතරයේ අයිතීන් , නීතිය හමුවේ සමානාත්මතාවය, ආරක්ෂක අංශවල වගවීම පිළිගන්නා අතර මේ සියලු සිදුවීම් සිදුවී ඇත්තේ කොවිඩ් 19 පැතිරීමට ඇති අවදානම ගැන අවධානය යොමු කරමින් බව ද ඇය පවසා තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ විරෝධතාව විසුරුවා හැරීමේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත හෙළා දකිමින් අද පැවැත්වූ මාධ්‍ය හමුවට ලංකා වෙලද කාර්මික පොදු කම්කරු සංගමය ,එක්සත් සමාජවාදී පක්ෂය ස්වාධීන ලංකා ගුරු සංගමය , ලංකා ගුරු සංගමය සහ යූත් ෆෝ චේන්ජ් ඇතුළු සංවිධාන ගණනාවක් සහභාගි වූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ, සිය සාමාජිකයින් නිරෝධායන නීතිවලට අනුකූලව උද්ඝෝෂණය කිරීම තුළ නීති කඩ නොවූ බවත් පොලීසිය අතින් නීති කඩ වීමක් සිදුවූ බවත් ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඊයේ සිදුවීම්ට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.
''පොලිසිය උත්සාහ කළා එක පැත්තකින් නිරෝධායන නීති කඩ වෙලා කියලා ඔප්පු කරන්න අනික් පැත්තෙන් පොලිසිය උත්සාහ කළා අධිකරණ නියෝගයක් කඩවෙලා කියලා ඔප්පු කරන්න .නමුත් ඊයේ රාත්‍රියේ අධිකරණයේ සිදුවීමේදී ඒ චෝදනා දෙකම ඔප්පු කරන්න හැකි වුනේ නැහැ .අපි උද්ඝෝෂණය කලේ නිරෝධායන නීති වලට අනුකූලව , අපි කැඩුවේ නැහැ හැබැයි පොලිසිය කැඩුවා . පොලිසිය තමයි ඈත් වෙලා හිටපු ඔක්කොම පිරිස එකට එකතු කරලා වාහනයට දැම්මේ , පොලිසිය තමයි මුඛ ආවරණ කිසිවක් නැතුව ඇවිල්ලා මිනිස්සුන්ව බදා ගත්තේ .මානව හිමිකම් කොමිසට අපි මේ ගැන පැමිනිලි කරනවා .පොලිස් කොමිසමට මේ නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිනිලි කරනවා .නිරෝධායන නීතිවලට පටහැනි කටයුතු කළ පොලිසිය ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අපි කරුණු විමසන්න බලාපොරොත්තුවෙනවා . මූලික අයිතිවාසිකම් පෙත්සම් අපි ගොනු කරන්නත් බලාපොරොත්තුවෙනවා''
මේ අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වී තිබේ. පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටා ඇති මෙම පක්ෂ කාර්යාලයේ නවාතැන් ගෙන සිටි පිරිස ඊයේ කොළඹ පැවති විරෝධතාවට සහභාගී වී ඇති බව සඳහන් ය. ඊයේ රාත්‍රී 11.30 ට පමණ 119 අංකයට ලැබුණු දුරකතන ඇමතුමක් මත පේරාදෙණිය පොලීසිය විසින් , මහනුවර ගිනිනිවිම් ඒකකය කැඳවා ගින්න මැඩ පවත්වා තිබේ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ සිදු වීම හෙළා දකිමින් පවසා ඇත්තේ, එවන් ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවිය යුතු බවයි.
''ඒ ප්‍රහාරය මම තරයේ හෙලා දකිනවා . ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ , එවැනි ජනතාවක් සිටින රටක කුමන පක්ෂයක් හෝ සමාජිකයෙක් වේවා , මේ රටේ පුරවැසියන්ට කතා කරන්න අයිතියක් තියෙනවා ඒ ප්‍රහාරය මම දකින්නේ ප්‍රජාත්න්ත්‍රවාදී විරෝදී ක්‍රියාවක් ලෙස . එවන් ප්‍රහාර එවැනි ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවිය යුතු දෙයක් . මේ රටේ ජනතාවට තමන් විශ්වාස කරන මතයක් ගැන පාරට බැහලා උද්ඝෝෂණයක් මතයක් ඉදිරිපත් කරන්න අවස්තාව තිබිය යුතුයි .ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විනාශ වෙන්න දෙන්න බැහැ'' https://www.facebook.com/NewsfirstSL/videos/297067291464978/