මංගල සමරවීර මහ මැතිවරණයෙන් ඉවත් වෙයි

මංගල සමරවීර මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වෙයි

by Staff writer 09-06-2020 | 4:57 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව අද පස්වරුවේ නිවේදනය කළේ ය.

අද පස්වරුවේ මාතර පැවති සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා පැවසුවේ, මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බවයි. මහ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේ ය. සමරවීර මහතා පවසන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන, එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවයි. ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිළිබඳ උපාධිධාරියකු වන මංගල සමරවීර මහතා 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ක්‍රියාකාරී දේශපාලන දිවියට පිවිසුනේ ය. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 1994 දී චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයායි. 2005 - 2007 දක්වා මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග එක්විය. 2015 ජනවාරි 12 වනදා යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වූ ඔහු පසුව එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.