ෆ්ලොයිඩ් ඝාතනයට සැක පොලිස් නිලධාරියාට ඇප..

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියාට අ.ඩො. මිලියන 1.25ක ඇප

by Staff writer 09-06-2020 | 10:06 AM

COLOMBO (News 1st):  අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින්ට අමෙරිකා ඩොලර් මිලියන 1. 25ක ඇප නියම කර තිබේ.

ඒ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. චෝදනාවල බරපතලකම සහ මහජන කෝපය හේතුවෙන් චාවින්ට එරෙහි ඇප මුදල අමෙරිකා ඩොලර් මිලියන 1. 25ක් වැනි ඉහළ අගයක් ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය 25 වැනිදා සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කළේය. මිනිත්තු 15ක කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව චාවින්ට නියම කළ ඇප මුදලට ඔහුගේ නීතිඥයා එකඟ වූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. අමෙරිකා පොලිස් සේවයේ වසර 19ක සේවයක් සම්පූර්ණ කර ඇති 44 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා ජූනි 29 වැනිදා නැවතත් අධිකරණයට කැඳවීමට නියමිතය. මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනාව මත තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට චෝදනා එල්ල විය. ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවය හුස්ටන්හිදී අද පැවැත්වීමට නියමිතය. ඊට පෙර පැය 6ක කාලයක් අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය දේවස්ථානයක තැම්පත් කර තැබෙනු ඇති. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ද ෆ්ලොයිඩ්ගේ ඥාතීන්ට තම ශෝකය පළ කර තිබේ.