MCC අත්සන් කරනවාද? - ජවිපෙ ජනපතිගෙන් අසයි

MCC අත්සන් කරනවාද? - ජවිපෙ ජනපතිගෙන් අසයි

by Staff writer 08-06-2020 | 8:33 PM

COLOMBO (News 1st): ආණ්ඩුව අමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ආයතනය සමග නව ගිවිසුමට එළැඹෙන බවට පැතිරෙමින් ඇති තොරතුරුවල සත්‍යතාවක් තිබේදැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

ඒ, සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ය. එමගින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත්තේ 2019 වර්ෂයේ දී පැවති රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකට එළැඹෙන බවට රට මත බේදාත්මක තත්ත්වයක් මතු වූ බවයි. එම රජය එලෙස ගිවිසුමකට එළැඹෙන බවට කැබිනට් අනුමැතියක් පවා ලබාගත් බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේය. පසුගිය වසරේ නොවැම්බර් මස 01 වැනිදාට පෙර එම ගිවිසුමට අත්සන් කරනු ඇති බවට වාර්තා පළ වුණත් පැවති විරෝධතා හමුවේ එය අත්සන් තැබීම කල් දැමූ බව ලිපියේ දැක්විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති කාර්යාලය අදාළ ගිවිසුම නොවැම්බර් 16 පසුව එනම් ජනාධිපතිවරණයෙන් අනතුරුව අත්සන් කරන බවට නිවේදනය කළ බව ද ජනතා විමුක්ති පෙරමුණු ලිපියේ සඳහන් ය. නමුත් ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් රජය අදාළ ගිවිසුම නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුමැතියක් මත විශේෂඥ කමිටුවක් පත්කළ බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේය. ගිවිසුම අධ්‍යයනය කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව ගිවිසුම පවතින ස්වරූපයෙන් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව පසුගිය පෙබරවාරි 28 වැනිදා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළ බව ජනතා විමුක්ති පෙරමුණ සිහිපත් කළේ ය. කමිටුව පත්කොට දැනට මාස 06 කට ආසන්න වී ඇතත් එම කමිටුවේ අවසන් වාර්තාවක් මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව නොමැති අතර එහි නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැති බව ද ජනාතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේය. ඒ අනුව එම විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේ ද යන්න පුරවැසියන් වෙනුවෙන් තමා වෙත දැනුම්දෙන ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ලිපියෙන් ඉල්ලා සිටියේ ය.