COLOMBO (News 1st): පොතේ මොන තියරි තිබ්බත් පා තබන තැන්වල වැලි පෑගෙන්නේ නැත්නම් ඒකට සරලව කියන්නේ වැල්ල රැල්ලට හේදිලා කියලයි.
දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ වල වැලි පිරෙව්වා.
එහි සමස්ත වියදම රුපියල් මිලියන 890කි.
ඩෙන්මාර්කයේ රෝඩ් නිල්සන් ආයතනයට මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණි.
එලෙස කෘත්‍රිමව ගල්කිස්ස වෙරළ තීරයට පොම්ප කෙරුණු වැලි ප්‍රමාණය කියුබික් මීටර එක් ලක්ෂ පනස්දහසකි.
වැලි පිරවීමෙන් පසුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිර්මාණ හා පර්යේෂණ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් සකස් කළ බව පෙනී යන මෙම වාර්තාවේ ව්‍යාපෘතියේ ගෙවීම් කවර අංශ සඳහා නිකුත් කෙරුණාදැයි පැහැදිලි විස්තරයක් ද සඳහන් නොවේ.
බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියාරච්චි සමුද්‍රජීව විද්‍යාඥ ආශා ඩී වෝස් සහ නාඩියා අස්මි සකස් කර ඇති වාර්තාවේ දත්තවලට අනුව පැහැදිලි වන්නේ ප්‍රමාණවත් සැළසුම් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය සිදු කර ඇති බවයි.
පරිසරවේදී ජයන්ත විජේසිංහ මහතා
ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. දැන් බැලුවොත් අඩි 5කට වඩා ඛාදනය වෙලා තියනවා. මේ හරියේ තියන රැලිවල ස්වභාවය හරියට තේරුම් ගත්තානම් මේ ගොල්ලොන්ට වෙන ක්‍රමවේද භාවිත කරන්න තිබ්බා අඩුම ගානේ මේ වැලි ටික යන එක නවත්වන්න.
නිව්ස්ෆස්ට් ප්රශ්නය -
දැන් මේ ටිකේ වැලි පුරවන්න වැලි කියුබික් මීටර එක්ලක්ෂ පනස්දහසක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ටික ඇතිද?
පිළිතුර -
පරිසරවේදී ජයන්ත විජේසිංහ මහතා
මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවම ගන්න උදාහරණ ගත්තොත් මේ නෝර්ත් සී ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් උතුරු මුහුදු ව්‍යාපෘතිය, මේවා ඇවිල්ලා ලක්ෂ ගණන්, මහාපරිමාණ වැලි පුරවපු ව්‍යාපෘති. ඒවා නිසි ක්‍රමවේද යටතේ දිගු කාලීනව කරන ව්‍යාපෘති. හදිසියේ පටන්ගෙන, නිසි ශක්‍යතා අධ්‍යනයක් නොකර කරන ව්‍යාපෘති නෙමෙයි. නමුත් මේ ව්‍යාපෘතියේ මෙතන මේ බොක්කක ස්වරූපය තියෙද්දි මේ වගේ තැනක එහෙම පිරෙව්වොත් ව්‍යාපතිය සාර්ථක වෙන්නේ නෑ.
නිව්ස්ෆස්ට් ප්රශ්නය -
මෙතෙන්ට දාපු වැලි ටික වැල්ලවත්ත පැත්තට, එහෙම නැත්නම් උතුරු පැත්තට යනවා කියලා කතාවක් තියනවා . ඒකෙ මොකක්හරි විද්‍යත්මක පැත්තක් තියනවාද?
පිළිතුර -
පරිසරවේදී ජයන්ත විජේසිංහ මහතා
අපිට කියන්න තියෙන්නේ මේක නිකං අර කිතුලට නැග්ග මිනිහටත් කතාවක් තිබුණා කියන එක. හේතුව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාම මේ ව්‍යාපෘතිය යන අතරේ සම්මුඛ සාකච්ඡා දෙකක් දෙනවා. මේ ඉන්ටවිව් දෙකේම එතුමා පැහැදිලිව හා ස්ථිර ලෙස කියනවා මේ ව්‍යාපෘතිය කරන්නේ ගල්කිස්ස වෙරළ තීරයේ මේ මීටර 500ක් දුර කලාපයේ ඛාදනය වැළැක්වීම සඳහා කියලා. දැන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවේදී ඔවුන් කියනවා දැන් දෙහිවල වෙරළක් හැදිලා කියලා. ඒක මහා මුසාවක් . මොකද මේ සෑන්ඩ් කරන්ට් එහෙම නැත්නම් මේ වැලි යන්න ඉතාම විශාල කාලයක් යනවා. වර්ෂ ගණනාවක් යනවා මේ වැලි ටික ගිහිල්ලා මේ බීච් එකක් හැදෙන්න ඒ විදියට යනවා නම්.
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා සඳහන් කළේ , අතීතයේ මෙම වෙරළ ඉතා අලංකාර බවත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් බවත් ය.
කාගේ අවශ්‍යතාවයකට මේ අපරාදේ කළේ යැයි තමා නොදන්නා බව පබිලිස් සිල්වා මහතා කියා සිටියේය.
වියදම් කළ මුදලින් හරි අඩක් මේ සඳහා යොදාගත්තේ නම් මෙම වෙරළ තවත් අලංකාර කරමින් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි බව ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.