නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බැබළුණත් අවසානයේදී ඒකාධිපතිවාදයට යනවා - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 08-06-2020 | 6:47 PM
COLOMBO (News 1st): නිලධාරීන් විසින් පාලනය කරන රටක් කෙටි කාලයකදී බැබළුණත් අවසානයේදී ඒකාධිපති පාලනයකින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි. ඊයේ(07) අම්බලන්ගොඩදී පැවති පෙරහුරු මැතිවරණය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

"පාර්ලිමේන්තුව නොමැතිව පාර්ලිමේන්තුවක් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් නොවූ පාර්ලිමේන්තුවක් තිබෙන තැනක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බැබළුණත් එය අවසානයේදී ඒකාධිපතිවාදයට යනවා."

පාර්ලිමේන්තුව මාර්තු 02 වැනිදා විසුරුවා හැරීමෙන් පසුව අප්‍රේල් 25 වැනිදාට මහ මැතිවරණය පැවැත්වීමට දින නියම වුවත් පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම ජුනි 20වැනිදා දක්වා කල් තැබුවේය. මෙදින මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් මැතිවරණයට නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා

"මෙම රෝගය සියට සීයක් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. මේ ඡන්ද විමසීම නෙවෙයි අතුරුදහන් වෙච්ච පළාත් සභා ඡන්ද විමසීම තියන්න වෙන්නෙත් මේ ක්‍රමයට විස්සයි විසිඑක දෙසැම්බර්තාක් කල්"

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(07) පෙරහුරු මැතිවරණයක් පැවැත්වූයේ කොරෝනා වෛරස් වසංගත තත්ත්වයෙන් පසුව රටේ ඇතිව තිබෙන නව සාමාන්‍ය තත්ත්වය යටතේදී ය.

"අපට අද පෙනෙන තත්ත්වේ හැටියට විශාල බරපතල ගැටලුවක් නෑ. නමුත් මේක සාමාන්‍යකරණීකරණය කරන්න බෑ. මේ මොකද වියදම ගැන හිතන්න වෙලා තියෙනවා. මේක ජනතාවගේ මුදල්. ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධිකයි. ඒක අඩු ලාබෙට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි"