වොෂිංටනයේ පැවති විශාලතම විරෝධය..

ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි වොෂිංටනයේ පැවති විශාලතම විරෝධය

by Staff writer 07-06-2020 | 9:51 PM

COLOMBO (News 1st): අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරුද්ධව සහ පොලීසියේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙතෙක් වොෂින්ටනයේ පැවති විශාලතම විරෝධය අද පැවැත්විය.

අඛණ්ඩව 12 වන දිනටත් අමෙරිකාවේ නගර බොහෝමයක විරෝධතා සංවිධාන කර තිබූ අතර එම විරෝධතාවලට ලොව වටා බොහෝ රටවල් සහය පල කර තිබේ. දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් වොෂින්ටන් ඩී සී නගරයේ මෙතෙක් පැවැත්වුණු විශාලතම විරෝධතා පා ගමන ධවල මන්දිරය දෙසට ගමන් කිරීම වළක්වාලමින් පොලීසිය විසින් බාධක යොදා තිබුණි. කෙසේ වෙතත් නිව්යෝර්ක්, චිකාගෝ, ලොස්ඇන්ජලීස් සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල පැවති විරෝධතා තරමක් සාමකාමී මුහුණුවරක් ගත්තේ ය. මේ අතර සැන්ෆ්‍රෙන්සිස්කෝ නගරයේ ගෝල්ඩන් ගේට් පාලම විරෝධතාකරුවන් විසින් ආක්‍රමණය කර ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉල්ලා පා ගමනක නිරත වුණි. එරට මාධ්‍යයට අනුව සංවිධායකයන් විසින් විරෝධතාකරුවන්ට මුහුණු ආවරණ පැළඳ සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් තම ඉල්ලීම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණි. මේ අතර පොලීසියට කුඩා හා විවිධ ද්‍රව්‍යවලින් විරෝධතාකරුවන් විසින් පහරදීම නිසා සියැටල් පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. මෙතෙක් කල් ප්‍රචණ්ඩ ලෙස අමෙරිකාව පුරා සිදුවූ පාගමන් සහ විරෝධතා බදාදා දිනය වනවිට සාමකාමී මුහුණුවරක් ගත්තේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් 4 දෙනාම පොලිස් සේවයෙන් නෙරපා අත්අඩංගුවට ගැනීමත් සමග ය. ලන්ඩන් නුවර පැවති බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා රැළියක් අතරතුර අශ්වාරෝහකයෙක් නොමැතිව අශ්වයෙක් මාර්ගය හරහා කලබලකාරී ලෙස හැසිරීමෙන් රැළියට බාධා ඇති වූ අතර එය අවසානයේදී ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත්තේ ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් සිහිකරමින් සංවිධානය කළ දෙවන අනුස්මරණ උත්සවය උතුරු කැරලිනා නගරයේදී පැවැත්විය. තම අවසන් ගෞරව දැක්වීමට දහස් ගණනින් ජනතාව මෙම ස්ථානයට පැමිණ සිටියේ ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් පවුලේ සාමාජික ක්‍රිස්ටෝපර් සිමන්ස්
අමෙරිකාවට දැන් වෙන දේ අපි දකිනවා. අපගේ පවුලම කණගාටුවට පත්වෙනවා. කොරෝනා වෛරසය වගේම පොලිස් ප්‍රචණ්ඩත්වයටත් බෙහෙතක් ඕනේ.
ක්‍රිස්ටෝපර් ස්ටැක්හවුස් පියතුමා
අපේ ළමයි ඊළඟ හෑෂ් ටැග් එක වෙන්න බැහැ . ඊළඟ අවපස්ථාවේදී මෙවැනි සිදුවීමක් සිදුවීමෙන් පසු මුහුණු පොතේ තම ඡායාරූපය මගේ දරුවන්ගේ මුහුණ වෙන්න බැහැ. මේ ඇති.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු ලබන අඟහරුවාද සිදුකිරීමට නියමිත ය.