උණුසුම් වූ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්..

වන්දි ගෙවීම අස්සේ උණුසුම් වූ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්

by Staff writer 07-06-2020 | 9:30 PM

COLOMBO (News 1st): ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම අද ආරම්භ කළ බවත් රක්ෂණය වී ඇති සියලුම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6 ක උපරිමයක් දක්වා වන්දි ගෙවන බවත් මහ බැංකුව පැවසුවේ ය.

කෙසේ වෙතත් අද දිවයිනේ ප්‍රදේශ රැසක තැන්පත්කරුවන් මුදල් ලබාගත නොහැකිව මුහුණ පෑවේ දැඩි අපහසුතාවකටයි. අද පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් මහජන බැංකු ශාඛා වෙත පැමිණ සිටියේ ය. ගාල්ල, මහනුවර, අම්පාර, ජා-ඇල, මාතර, බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණේ මුදල් ගෙවීමේ වැඩපිළිවෙළ විධිමත්ව සිදු නොවන බවය. ගාල්ල මහජන බැංකු ශාඛාව වෙත පැමිණි 300 කට අධික ජනතාවට සිය වන්දි මුදල ලබා නොදීම හේතුවෙන් තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේ ය. එහි පැමිණි සිටි තැන්පත්කරුවන් මෙසේ පැවසුවේය.
මහජන බැංකුවේ මව් ශාඛාවට යන්න කියලා තමයි කිවුවේ කතා කරලා ඇහුවහම. බැංකුවෙන් කියන්නේ පසුව දැනුම් දෙන්නම් කියලා. සාර්ථක වැඩපිළිවෙලක් පේන්නේ නෑ. බොරුවක් කරන්නේ කියලා අපේ අදහස. ඒගොල්ලෝ දන්නෙත් නෑ මහ බැංකුවෙන් කියනවාලු සිස්ටම් එක එරර් කියන්න කියලා. කට්ටිය ගෙන්නලා කට්ටිය රස්තියාදු කරන එක විතරයි කරන්නේ සත පහක්වත් දීලා නෑ. විස්තර ටික අරගෙන දැනුම් දෙන්නම් කියනවා, දැනුම් දෙන්නම් කියන්න මෙච්චර මේ පොලිමේ අංක අරගෙන අර පාන් පෝලිමේ ඉන්න වගේ වෙලා තියෙනවා මිනිස්සුන්ට. අපේ අයි ඩී කොපි එකයි ෆික්ස් ඩිපොසිට් එකේ කොපියයි බාර ගත්ත දැන්. බැංකුව දැනුවත් නෑ. සල්ලි දාලද නැද්ද කියලාවත් පෙන්නන්නේ නැතිලු. සෙන්ට්‍රල් බැංකුවේ විශ්වාසේ මත තමයි මේ ඔක්කෝම සල්ලි තැන්පත් කළේ. මොකද රජයට පවරගෙන සෙන්ට්‍රල් බැංකුවෙන් කිව්ව මේක ස්ථාවරයි බය නැතිව සල්ලි තැන්පත් කරන්න එක එක වෙන මූල්‍ය ආයතනවලට යන්න එපා කියලා රජයෙන් කියපු නිසා තමයි අපි බය නැතුව ඇවිල්ලා සල්ලි තැන්පත් කළේ මේකට මහ බැංකුවේ වගකීමක් තරයේම තියෙන්න ඕනේ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් 4000 කට අධික පිරිසක් සිටින අතර ඉන් පිරිසක් අද උදෑසන අනුරාධපුර නගරයේ මහජන බැංකු ශාඛාව වෙත පැමිණ සිටියේ ය. පැමිණි පිරිසගෙන් කොටසකට වන්දි මුදල් හිමි වූ බව අප වාර්තාකරු පැවසුවේ ය. කෙසේ නමුත් රුපියල් ලක්ෂ 6 ඉක්මවා වන්දි හිමිවිය යුතු පිරිස් තමන්ට හිමි සම්පූර්ණ මුදල ඉල්ලීමක් සමග තරමක් නොසන්සුත් තත්ත්වයක් හටගත්තේය. එහි පැමිණි සිටි තැන්පත්කරුවන් මෙසේ සඳහන් කළේය.
රජය මිනිස්සුන්ව ගොනාට අන්දලා තියෙන්නේ. මොකද ලක්ෂ 6ක් දීලා ඉතුරු ටිකට මොකක්ද කරන්න ඉන්නේ කියන එකයි අපිට ප්‍රශ්නේ තියෙන්න‍ෙ. අපේ මේ සල්ලිවලින් රටට හරියට ප්‍රයෝජන අරන් තියෙනවා ඒ නිසා අපේ මේ සල්ලි අපිට ගෙවන්න. දුවලා දෙන්නෙක් ඉන්නේ දෙන්නාම කැම්පස් උගන්නන්න ඕනේ. සල්ලි නෑ දැන් ඔක්කෝම මේකේ දැම්මා මහ බැංකුවෙන් දාන්න කිව්වා. බොහොම අමාරුවෙන් හම්බ කෙරුවේ අලි එක්ක මහ පොළව එක්ක හැප්පිලා. සල්ලි දෙන්න කියලා ඉල්ලනවා නැත්නම් වහ බොනවා මහ බැංකුව ඉස්සරහට ගිහිල්ලා ළමයි දෙන්න එක්ක.
හලාවත මහජන බැංකු ශාඛාව වෙතප ද අද උදෑසන විශාල පිරිසක් පැමිණි සිටියේ ය. අප වාර්තාකරු පැවසුවේ පැමිණි ඇතැම් පිරිස් වෙත වන්දි මුදල් හිමි වුව ද මහ බැංකුව තොරතුරු එවා නොමැති බව මහජන බැංකු නිලධාරීන් පැවසීමත් සමග බොහෝ පිරිසකට වන්දි මුදල් හිමි නොවූ බවයි. එහි පැමිණි සිටි තැන්පත්කරුවන් මෙසේ පැවසුවේය.
අපිට මෙතන සාධාරණයක් පේන්නේ නෑ. අපි කියනවා ජනාධිපතිතුමාට මහ බැංකුවේ හොරකමක් මේක තුන්වැනි ලෝක හොරකම මේකට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මේක මම එකතු කරගත්තේ මාදැල් ඇදලයි කෙප්පම් වල බඩගාලයි. අවුරුදු 30 කටත් වැඩී මම මේකේ දාලා රුපියල් 6600 ක් දැම්මේ ඉස්සෙල්ලා. දුක් විඳලා තමයි මේක එකතු කරගත්තේ. දැන් මට 71යි මුකුත් නෑ මම මේකෙන් ජීවත් වෙන්නේ.
කෙසේ වෙතත් බැංකු කළමනාකාරවරයා පැමිණ තැන්පතු 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති තැන්පත්කරුවන්ට අද දිනය තුළ වන්දි ලබාදීමට නොහැකි බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය. බැංකු කළමනාකාරවරයා -
අපි කටයුත් කරන්නේ මහත්මයා මහ බැංකුවේ උපදෙස් අනුවනේ. එතකොට අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ එක අයි ඩී එකක් යටතේ එක ගිණුමකට ගෙවන්න කියලා අදට.
තැන්පතුකරුවෙක් -
අපිට ඇඩෙනවා ඇඩෙනවා කියන්නේ මේ හදවත මම බොහොම දැඩි ලෙස කම්පාවට පත් වෙලා තිබුණේ. මගේ දරුවා ඇවිල්ලා කිවුවා තාත්තේ ඔයා කල්පනා කරන්න එපා ඔයා ලෙඩවෙයි කියලා. ඔයා ලෙඩ වුණොත් මට ප්‍රශ්නයක් වෙනවා කියලා මම අවුරුදු 50න් රස්සාවෙන් අයින් වෙලා ගත්ත සල්ලි මේ දැම්මේ. මහ බැංකුවේ බෝඩ් එකකින් පාලනය වෙලා ආයතනයක අපි සල්ලි දැම්මේ. අපි දැක්කානේ මෙතන ගහලා තිබුණ කටවුට් මොනවාද කියලා.
මහ බැංකුව සඳහන් කළේ, නොගෙවු තැන්පතු ශේෂයක් ඇත්නම් ද ෆිනෑන්ස් ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු එම මුදල් ලබාදෙන බවයි. ඒ අනුව ද ෆිනෑන්ස් ශාඛා පිහිටුවා තිබූ නගරවල ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා අද වන්දි මුදල් ගෙවීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එහි පැමිණි සිටි තැන්පත්කරුවෙක් මෙසේ පැවසුවේය.
දුක් විඳලා ගත්ත සල්ලි. තේ දළු කඩලා පන යනකන් රට ගිහිල්ලා හම්බ කරලා 1000 ගානේ ගෙනැල්ලා දාපු සල්ලි නේද මේ.
මහනුවර නගරයේ පිහිටි මහජන බැංකු ශාඛාවට ද අද දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඉන් බොහෝ දෙනෙකුට වන්දි මුදල් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. අනතුරුව පොලීසිය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේ ය. පොලිස් නිලධාරියෙක්
කවුරුත් මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන නීති රීතිවලට පටහැනිව කටයුතු කරන්න එපා. ඔයාලාගේ ගනුදෙනු සම්බන්ධව දැනට සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් දීලා තියෙන උපදෙස් තමයි. එක් පුද්ගලයෙකුට එක ගිණුමක් තියෙනවා නම් එක ගෙවන්න කියලා උපදෙස් දීලා තියෙනවා.
එහි පැමිණි සිටි තැන්පත්කරුවෙක් සංවේදීව මෙසේ සඳහන් කළේය.
මම මගේ මරණේ කටයුතු ඉවර කරන්න තමයි මේ සල්ලි තිබ්බේ. ඇයි ඒ සල්ලි ගන්නේ නැත්තේ 21 වෙනිදා දෙනවා කිවුව නිසා තමයි ආවේ. මගේ මිනී පෙට්ටිය ගන්න හරි මේ සල්ලි අද දෙන්න කියන්න.