by Staff writer 07-06-2020 | 9:21 PM
COLOMBO (News 1st): තීරණාත්මක ධෛර්ය සම්පන්න මහජන උනන්දුව අන් සියල්ලට වඩා ඉහළින් තබන නායකත්වයක් සමග ඒකාබද්ධ වූ මහජන සැළැස්මක් අපට අවශ්‍ය බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ, 'ශ්‍රී ලංකාව සඳහා නව ගනුදෙනුවක්' යන මාතෘකාව යටතේ නිවේදනයක් නිකුත් කරමින් ය.
නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය දැන් අප මත පැටවී ඇති බව පෙන්වා දෙන මංගල සමරවීර මහතා දශක කිහිපයක සිට දිවයින පුරා ණය නාස්තිය හා දූෂණය පිළිබඳ දරුණු වළාකුළු එක්රැස් වෙමින් ඇතැයි සඳහන් කර තිබේ.
මෙම නිවේදනයේ දැක්වෙන්නේ, දැන් කොරෝනා වෛරසයේ මෙම භයානක කුණාටුව එහි කෝපය මුදා හරින විට වේදනාව හා අපේක්ෂා භංගත්වය, ශෝකය, බිය සහ කෝපය අප සියල්ලන්ම ගිල දමනු ඇති බවයි.
රැකියා අහිමි වීම, කුසගින්නේ පීඩනයට යටවීම, ණය එකතු කරන්නාගේ භයානක සෙවණැල්ල මිලියන ගණනක් මත හමා යාම ඇතුළු දේ සිදුවිය හැකි බවත් කොරෝනා වෛරසය පහර දීමට බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු බිඳ වැටී ඇතැයි ඇතැම් වාර්තාවල දැක්වුණු බවත් මෙහි සඳහන් ය.
මේ ව්‍යසනයට හේතු අප තේරුම් ගත යුතු අතරම රැඩිකල් සැළසුම් සකස් කර තීරණාත්මකව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැරණි වලව්වක් හා සමාන බව පවසන සමරවීර මහතා සඳහන් කර ඇත්තේ එහි වැසියන් දුෂ්කරතා සහ ආසන්න දරිද්‍රතාව නොතකා අතීත වීර ක්‍රියා පිළිබඳව කතා කරමින් පුරාණ වංශාධිපති පරම්පරාවේ සමෘද්ධිය ගැන දොඩවමින් ජීවත් වන බවය.
යමෙක් එහි දින කිහිපයක් රැඳී සිටින්නේ නම් පූජනීය මන්දිරයේ කණගාටු රහස් සෙමෙන් පෙනී යන බවද සමරවීර මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.
එවැනි නින්දිත තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින අතර දූපත හරහා පියාසර කරන රාජාලියෙකුට විශාල වරායන් සහ ගුවන්තොටුපොළවල් පෙනෙන නමුත් වේගයෙන් පහළට යාමේදී එහි ගුප්ත හිස් බව සොයා ගන්නා බව ද මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
සහන සැළසුම් සඳහා වන අදහස්වලින් පුවත්පත් පිරී තිබෙන බව පවසන හිටපු මුදල් අමාත්‍යවරයා ඒවා හොඳ වුවද සීතල දැඩි හා නොවැළැක්විය හැකි කරුණ වන්නේ සැළකිය යුතු සහනයක් ලබා දිය හැක්කේ රජය විසින් පමණක්ය යන්න ද මෙම නිවේදනයේ ඇතුළත් ය.
සුළු දේශපාලන විවාද සහ බිහිසුණු සංකේත දේශප්‍රේමය සඳහා මෙය කාලය නොවන බවත් තීරණාත්මක ධෛර්ය සම්පන්න හා මහජන උනන්දුව අන් සියල්ලටම වඩා ඉහළින් තබන නායකත්වයක් සමග ඒකාබද්ධ වූ මහජන සැළැස්මක් අපට අවශ්‍ය බවත් මංගල සමරවීර මහතා පවසා තිබේ.
ඒ යටතේ අවදානය යොමු කළ යුතු අංශ ලෙස විදේශ ආධාර, ණය ලබා ගැනීම, පුරවැසියන්ට වත්කම් පැවරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හා, සාධාරණ බදුකරණය ඉදිරිපත් කර සිටින මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන කටයුතු 5 ක් සඳහා රජය පියවර ගත යුතු බවයි.
1- අර්බුද කාලය තුළ රුපියල් 5,000 ක සහනය අඛණ්ඩව ලබාදීම තහවුරු කරන අතරම වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා එය රුපියල් 10,000 දක්වා වැඩි කිරීම.
2- ක්ෂුද්‍ර මූල්‍ය හා ලීසිංවලදී ණය ගෙවීම් පිළිබඳ සහනය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හා දීර්ඝ කිරීමට බැංකුවලට අරමුදල් සැපයීම.
3- සේවකයින් තවදුරටත් සේවයෙන් ඉවත් නොකරන බවට වන කොන්දේසියකට යටත්ව සමාගම්වලට තවදුරටත් සහන ණය හා වෙනත් සහන ලබාදීම.
4-පොදු වැඩ විශේෂයෙන් පොදු ප්‍රවාහනය සඳහා ශ්‍රම ශක්තියෙන් යුතු ඵලදායී යටිතල පහසුකම් ආරම්භ කිරීම
5- රැකියා විරහිතයන් බවට පත් කර ඇති සේවකයින්ට නව පරම්පරාවට හා අපනයන කර්මාන්ත රැකියා සඳහා නව නිපුණතා සැපයීම එම අංශ 05 ට ඇතුළත් වේ.
එවිට විරැකියාව, ණය සහ සාගින්න යන වසංගත තුනෙන් ඈත් විය හැකි යැයි තමා යාඥා කරන බව ද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.