COLOMBO (News 1st): මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මාධ්‍යයට කළ බව කියන අන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් වර්තමානයේ කතාබහක් ඇතිව තිබේ.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් අද විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා දෙමළ භාෂාවෙන් එම ප්‍රකාශය කර ඇති බැවින් නිවරැදි භාෂා පරිවර්ථනයක් නොමැතිව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව ය.
මෙලෙස එල්ලවන චෝදනා පිළිබඳව මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගෙන් අපි විමසීමක් කළේය.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -
මහාචාර්ය හූල්, මේ අවස්ථාව වනවිට ඔබට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල වෙනවා. ඔබ එක් පක්ෂයකට ඡන්දය භාවිත නොකරන්න කියලා ජනතාවට කිවුව කියලා චෝදනාවක් තියනවා. ඒ වගේම ඔබේ දියණිය නිරෝධායන නීතිය උල්ලංඝණය කළා කියලත් කියනවා. පළමුව අපිට කියන්න. ඔබ ජනතාවට කිවුව ද යම්කිසි පක්ෂයකට ඡන්දය දාන්න එපා කියලා ?
පිළිතුර -
මේකයි වුණේ. මීට වසර දෙකකට හෝ තුනකට පෙර BMICH එකේදී මාර්තු 12 ව්‍යාපාරය රැස්වුණා. මැතිවරණ කොමිසමේ සාමාජිකයිනුත් සහභාගී වුණා. අපි මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිපත්ති අනුමත කළා. ඒ ප්‍රතිපත්ති මොනවාද? නරක පුද්ගලයින්ට ඡන්දය දෙන්න එපා. සුරාසල් කරන අයට ඡන්දය දෙන්න එපා. ප්‍රචණ්ඩත්වයෙන් ජීවත් වන අයට ඡන්දය දෙන්න එපා. ඒක තමයි මම කිවුවේ. අන්න ඒ දේ තමයි මම කිවුවේ. මම කිසිම අවස්ථාවක කිවුවේ නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියලා. මම අත්දැකීම් බහුල කෙනෙක්. ඒ නිසා මං එහෙම දෙයක් කවදාවත් කියන්නේ නැහැ. ඔබට වංචා කරන පුද්ගලයින්ට ඡන්දය දෙන්න එපා. වැරදි තොරතුරු දෙන අයට ඡන්දය දෙන්න එපා.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -
ඔබේ දියණිය සම්බන්ධ ගැටලුව ගැන මොකක්ද ඔබගේ අදහස ?
පිළිතුර -
සිදුවුණේ මේකයි. ඇයට කවදාවත් COVID-19 වැළඳිලා තිබුණේ නැහැ. ඇය එංගලන්තයේ ඉගෙන ගන්නා සිසුවියක්. ඒ රටේ තිබෙන අපේ මහකොමසාරිස් කාර්යාලය ඇය කොළඹට එවීමට කටයුතු සූදානම් කරලා තිබුණා. ඇය මෙහෙ ආපු ගමන්ම හමුදාව ඇය රැගෙන ගියා ජෙට්වින් බ්ලූ හෝටලේට. ඇය සති දෙකක් එතන හිටියා. එතනදී ඇය රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් මේ වෙනුවෙන් වියදම් කළා. එවැනි මුදලක් වියදම් කරලා ඉවර වුණාට පස්සේ මේ ගොල්ල කියනවා ඇය නිරෝධායනය වුණේ නැහැ කියලා. ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ වෛද්‍ය ජාසිංහ මහතා අත්සන් කරපු සහතිකයත් තියනවා ඇය නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ බවට. මම ඒ ලියමන කොමිසමේ සභාපතිවරයාටත් ලබා දුන්නා. ඒකෙ හංගන්න දෙයක් තිබුණේ නැහැ. මට ඒක හංගන්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි කොමිසමේ අය වියරු වැටුණා. ඒ අය කිවුව මම නිරෝධායනය වෙන්නේ නැතුව ඇවිල්ලා කියල. මට වහාම යාපනයට යන්න සිදුවුණා. මට සති දෙකක් නිරෝධායනය වෙන්න කිවුවා. මට ළමයි ඉන්නවා. මම කොහේද කොළඹ සති දෙකක් නිරෝධායනය වෙන්නේ. ඉතිං මම යාපනයට ගියා. මම යද්දී මගෙ වාහනේ අංක තහඩුව ඒ වෙනකොට හමුදා චෙක් පොයින්ට්වලට දීලත් තිබුණා.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -
මෙතරම් අර්බුදකාරී තත්වයක් තියෙද්දී ඔබ මේ තනතුරේ තවමත් රැඳී සිටින්නේ ඇයි ?
පිළිතුර -
ලංකාවේ දේශපාලන මැතිවරණ පද්ධතියම පදනම් වෙලා තියෙන්නේ එකිනෙකාට උපකාර දීමේ සිස්ටම් එකකට. කවදාවත් කාටවත් දඩුවමක් හම්බ වෙන්නේ නෑ. පැමිණිල්ලක් බරපතල ලෙස සලකන්නේ නැහැ. දේශපාලන එදිරිවාදියෙකු වුණත් ඇති වෙලා තියන ක්‍රමය තමයි පිටට තට්ටුවක් දාලා පරීක්ෂණ අඩාල කරන එක. රටට පේන්න ඒ පුද්ගලයා ඔහුගේ තනතුරේ වැඩේ හරියට කරනවා කියල පෙන්වන්න මොකක් හරි දෙයක් කරනවා. නමුත් කිසිම බරපතල දෙයක් වෙන්නේ නැහැ. මම හිතනවා මම කොමිසමේ මගේ තනතුරෙන් අයින් වුණොත්, ඒ දේවල් ඒ විදිහයටම තවදුරටත් වෙයි. මම කොමිසමේ ඉන්නකම් ලැබෙන පැමිණිලිවලට දැඩි සැලකිල්ලක් දෙන්න කටයුතු කරනවා. දුවලා ගිහිල්ල හැංගෙන්න බැහැ. සමහර වෙලාවට වෙනත් ක්‍රමවලින් මා ඉවත් කරන්න උත්සාහ ගනීවි. නමුත් එහෙම වෙලාවක් එනතුරු මම මගේ යුතුකම ඉටු කරනවා.