'ගොනාකෝවිලේ රාජා' මරුට

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු වූ 'ගොනාකෝවිලේ රාජා' පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී මරුට

by Staff writer 07-06-2020 | 7:31 AM

COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවය. එහිදී සැකකරු පොලීසියට වෙඩි තබා තිබේ. අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇත. ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පැවසීය. පතිරණගේ රාජා විමලධර්ම නොහොත් 'ගොනාකෝවිලේ රාජා' නැමති අය මෙලෙස මියගොස් තිබේ. ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.