සරසවි සිහිනය බොඳ වී අසාධාරණයට ලක් වූ සිසුවියක්

සරසවි සිහිනය බොඳ වී අසාධාරණයට ලක් වූ හලාවත සිසුවියක්

by Staff writer 06-06-2020 | 10:02 PM

COLOMBO (News 1st) :  උසස් අධ්‍යාපනය ලබන්නට සිහින මවමින් සිටි දැරියක් තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව අපට තොරතුරු වාර්තා විය.

උසස් අධ්‍යාපනයට වගකියන ආයතනවල ගැටලු හේතුවෙන් මෙලෙස අසරණව සිටින්නේ හලාවත, මුඟුණුවටවන, කරඹලන්ද ගම්මානයේ සිසුවියකි. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් මැනවින් අධ්‍යාපන කටයුතුවල නිරත වු දක්ෂ දියණියකි. 2015 වර්ෂයේ සිප්පිකලාන කණිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ ඇය උසස් පෙළ සඳහා හලාවත ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. 2018 වසරේදී කලා අංශයෙන් උසස් පෙළ විභායට පෙනි සිටි ඇය ඉන් A, B සහ C සාමාර්ථ්‍ය ලබා සමත් වූයේ තවත් කඩඉමක් පසුකරමින් ය. සරසවි ප්‍රවේශය සඳහා අයැදුම් කළ මධුභාෂිණීට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලිපියක් ලැබී තිබුණි. එහි දැක්වෙන්නේ 2018 - 2019 අධ්‍යයන වර්ෂවල සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්ව ඇති බවයි. 2019 වසරේ අගෝස්තු 23 වැනිදා එම ලිපිය ලැබී තිබු අතර මේ වසරේ මැයි 28 වැනිදා ඇයට තවත් ලිපියක් ලැබෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ය. ප්‍රායෝගික පරීක්ෂණය හා z score අගය යන නිර්දේශ සියල්ල සළකා බැලීමේදී මෙම සිසුවිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නොමැති බව එම එම ලිපියේ සඳහන් කර තිබේ. නිමාෂා මධුභාෂිණි සිසුවිය
සෞන්දර්ය කැම්පස් එකේ ලියාපදිංචි වෙලා ඒ නේවාසික පහසුකම් ගෙවලා සල්ලි බැඳලා ඔක්කොම කලාට පස්සෙ ලියුමක් ආවා අපේ ලියාපදිංචිය අහෝසි කරලා කියලා. මේ වෙලේ හරි අසරණයි මොකද මට සෙකන්ඩ් ෂයි නෑ. තර්ඩ් ෂයි නෑ. ඕල්ඩ් සිලබස් එක ඉවර වෙනවා. මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බෑ.
මධුභාෂිණීගේ පියා
විශ්වවිද්‍යාලයට තේරුණා කියද්දි අපි ඉතා සතුටු වුණා.ඊට පස්සෙ අපිට ලියුමක් ලැබෙනවා විශ්වවිද්‍යාලයෙන් ඔවුන් තෝරාගෙන නෑ මේ විශ්වවිද්‍යාලයට. කලින් දැනුම් දුන්නනම් අපිට අපේ දරුවව තව පාරක් උසස් පෙළ ලියවන්න අපිට පාසල් යවන්න තිබ්බා.ඒ දරුවට ලොකු අසාධාරණයක් වුණා කියලා අපිට හිතෙනවා.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී අප උත්සහ කළත් එය ව්‍යර්ථ විය. https://www.facebook.com/NewsfirstSL/videos/209376523386067/