ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?

ක්‍රීඩාවේ උන්නතියට ලැබෙන මුදල් විනාශ කරන ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?

by Staff writer 06-06-2020 | 9:30 PM

COLOMBO (News 1st) :  ක්‍රිකට් කියන්නේ ඔබෙත් මගෙත් ප්‍රියතම ක්‍රීඩාව වේ. එය මිලියන 22 ක මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩාවකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙනි.

ඒවා අයිති මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ය. නමුත් ඒවා හිතුමතේ විනාශ කරන්න ක්‍රිකට් බලධාරීන්ට අයිතියක් නොමැත. ක්‍රිකට් අයිති මේ රටේ මිනිස්සුන්ට මිසක් විටින් විට බලය හොබවන පරිපාලකයින්ට නොවේ. ඒකයි අපි මේ සෑම සිදුවීමක්ම ඉතා වගකීමෙන් ඔබ වෙනුවෙන් වාර්තා කරනු ලබන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වු ක්‍රිකට් විශ්වවිද්‍යාලයට සිදු වූයේ කුමක්ද? මේ ඒ පිළිබඳ තවත් අනාවරණයකි. ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වසර 30 කට වාර්ෂිකව රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසක් බැගින් ලබා ගැනීමටත් තවත් ව්‍යාපෘති දෙකකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ගෙවීමටත් ක්‍රිකට් ආයතන විධායක කමිටුව පියවර ගෙන තිබුණේ 2017 වසරේ අප්‍රේල් 22 වැනිදා ය. 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසකට අධික මුදලක් වියදම් කළත් ක්‍රිකට් විශ්වවිද්‍යාලයට අදාළව කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්ව තිබුණි. එදා කෝප් කමිටුවේදී සිදු වූ දේ මතකද? ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මේක හයි පොෆෝමන් සෙන්ටර් අපි වෙනස් කරලා අපි දැන් වැඩ පටන් ගන්න යනවා ඉන්ඩෝ නෙට්ස් 10 යි ටර්ෆ් විකට් 10කුත් දාලා. දැන් විශ්වවිද්‍යාලයක් හදනවා කියන පදනමින්නේ ගිවිසුමට ගිහිල්ලා තියෙන්නේ. කෝප් කමිටුවේ ප්‍රශ්නය -
හයි පොෆෝමන්ස් සෙන්ටර් එකක් වගේ නමකට මාරු කරන්න තීරණය කරේ කවද්ද?
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ පිළිතුර -
අපි එක්සකටිව් කමිටුවේ තීරණය ගත්තා සභාපතිතුමා. අන්තිම කෝප් කමිටු රැස්වීමෙන් පස්සේ. එතන අපිට ප්‍රශ්නේ ආවේ මේ විශ්වවිද්‍යාලයේ නම දාන එකෙන් මේකට ඇප්රූවල් ගන්න ඕනේ කියලා යූජීසී එකෙන් අපි ඒක හින්දා තමයි සභාපතිතුමා නම වෙනස් කරලා අපි හයි පොෆේමන්ස් සෙන්ටර් එකට කන්වර්ට් කළේ.
ක්‍රිකට් සභාපතිවරයා එසේ පැවසුවත් 2019 ඔක්තෝබර් මස 05 වැනිදා පැවැති ජාතික ව්‍යාපෘති කමිටුවට යොමු කළ පත්‍රිකාවේ තවදුරටත් සඳහන්ව තිබෙන්නේ ක්‍රිකට් විශ්වවිද්‍යාලය යන්න ය. ඒ අනුව එදින මෙහි භූගත මහල ඉදිකිරීම වෙනුවෙන් අනුමත වී තිබෙන මුදල රුපියල් එකොලොස් කෝටි හතලිස් පන් ලක්ෂ දෙදාස් පන්සිය හතලිහකි. මෙම ක්‍රිකට් විශ්වවිද්‍යාලය මහල් 5 කින් යුතුව ඉදි කිරීමට යෝජිත ය. ක්‍රිකට් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් අසූ නම කෝටි පනස් ලක්ෂ තිස් අටදහස් තුන්සිය විස්සකි. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය විකිණීමේදී ලබාදුන් කොමිස් මුදලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සිය අත්සන සහිතව යොමුකළ පිළිතුරු හරහා සාවද්‍ය පිළිතුරු යවා ඇති බවට අපි මීට පෙර හෙළි කළෙමු. එම මුදල අමෙරිකානු ඩොලර් 339,025 කි. එහිදී ඇති වූ සංවාදයේ කොටසකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රශ්නය - කොහෙන්ද ඔයගොල්ලෝ ? මාධ්‍යවේදියාගේ පිළිතුර -
සිරස
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා - 
සිරස තමයි.
මාධ්‍යවේදියාගේ පිළිතුර -
ඔව්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා -
ඔයගොල්ලෝ ඉතින් හැමදාම මඩ ගහන එකනේ කරන්නේ, ඉතින් ඇති පුළුවන් තරම් පුළුවන්නම් හිරේ අරින්න කියන්න. අපි ලෑස්ති හිරේ යන්න.
ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු බලධාරීන් යළිත් වරක් කෝප් කමිටුව හමුවේ වැරදි තොරතුරු ලබාදී ඇති බවක් පෙනී යයි.

මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් විනාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?

https://youtu.be/u4Se_TofAaw