COLOMBO (News 1st) : තංගල්ල මූලික රෝහලේ ඉදි කළ හෘද රෝග දැඩි සත්කාර ඒකකය අද විවෘත කෙරිණි.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.
පැරණි තංගල්ල බන්ධනාගාරයේ අතහැර දැමූ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙම නව ඒකකය ඉදිකර ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය ආධාර මතයි.
අග්‍රාමාත්‍යවරයා රෝහල් භූමියේ අඹ පැළයක් ද රෝපණය කළේ ය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.
අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් නම් අඩුවක් වුණේ නෑ ඉතිහාසයේ. මේ හැමෝමත් ඉදලා මෙවැනි වාට්ටුවක් එතරම් කල් ගියේ මොකද්ද කියන එකයි මමත් මේ හිත හිත හිටියේ. අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේ මේක දඩබිමක්, සිරබිමක් ඒ ඔක්කොමත් නෙමෙයි මං හිතන්නේ අද සියලු දෙනාටම සුවය ලබාදෙන ස්ථානයක්. හැබැයි මගේ වගකීම තියෙන්නේ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම. ඒ සඳහා අවශ්‍ය ආහාර සැපයීම. ඒ හින්දා මම හිතන්නේ එහෙම වුණොත් අපිට මේ අවුරුදු පහේ මේ රෝහල් ටිකත් වහගන්න පුළුවන් වෙයි.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.
මං හිතන්නේ අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ඉතා ආඩම්බරයෙන් නැගී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. මොකද පසුගිය කෙරෝනා වසංගතය අවස්ථාවේ දියුණු යැයි කියන රටවල් වැටෙද්දී අපි වගේ කුඩා රටක් ඉහළට ඔසවන්නට පුළුවන් වුණේ සෞඛ්‍ය සේවය සම්බන්ධ සියලු දෙනාගේ සහය නිසා. ඔවුන්ගේ හැකියාව නිසා. ඒකට අවුරුදු ගණනාවක් තිස්සේ මම හිතන්නේ සෞඛ්‍ය සේවාව ක්‍රමවේදය හදුන්වා දුන්නු යුගයේ සිට ගමටම යනකන් යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වෙලා තියෙන්නේ මේ ලංකාවේ විතරයි. අපි ඇත්ත වශයෙන්ම ස්තූතිවන්ත වෙනවා සියලුම මුළු වෛද්‍ය සේවයටම ඉහළ ඉදලා පල්ලෙහාටම මේ කරන සේවය අපි අගයනවා. ජාතිය අගයනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන.
https://youtu.be/3_gM86N4vX8