ගල්කිස්ස වෙරළේ කසළ ගැන අරුම පුදුම හෙළිදරව්වක්

ගල්කිස්ස වෙරළේ කසළ ගැන අරුම පුදුම හෙළිදරව්වක්

ගල්කිස්ස වෙරළේ කසළ ගැන අරුම පුදුම හෙළිදරව්වක්

කර්තෘ Staff writer

06 Jun, 2020 | 9:13 pm

COLOMBO (News 1st) : පසෙකින් වෙරළ ඛාදනයත්, අනෙක් පසින් කැළි කසළ එක්රැස් වී තිබීමත් හේතුවෙන් ගල්කිස්ස වෙරළ තීරයේ අද දක්නට ලැබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකි.

අප වාර්තාකරුවන් අදත් එම වෙරළ තීරය නිරීක්ෂණය කළේ ය.

දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ගල්කිස්ස වෙරළ තීරයට අද අත්ව ඇති ඉරණම කුමක්ද යන්න සැබැවින්ම ප්‍රශ්නාර්ථයකි.

කොටස් 3කින් යුත් දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීර සංවර්ධනය කිරීම සිදු වේ.

එහි සමස්ත කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 890 ක් වන අතර මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණේ, ඩෙන්මාර්කයේ සමාගමකටයි.

රුපියල් මිලියන 890 ක මහජන මුදල් වියදම් කරමින් සැකසූ කෘතිම වෙරළ තීරය ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින ආකාරය අද දක්නට ලැබේ.

දකුණු කොළඹ වැලි පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෘත්‍රිමව ගල්කිස්ස වෙරළ තීරයට පොම්ප කෙරුණු වැලි ප්‍රමාණය කියුබික් මීටර එක් ලක්ෂ පනස්දහසයකි.

නමුත් බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියාරච්චි, සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ඩි වෝස් සහ නාඩියා අස්මි සකස් කර ඇති වාර්තාවේ දත්තවලට අනුව පැහැදිලි වන්නේ ප්‍රමාණවත් සැළසුම් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය සිදු කර ඇති බවය.

ඕස්ට්‍රේලියානු බටහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියරච්චි මහතා

මේක සම්බන්ධව කිසිම අධ්‍යනයක් හෝ පරිසර ඇස්තමේන්තුවක් සිදුවෙලා නැති බව අපි දන්නවා. කොහෙවත් සාක්ෂියක් නෑ ගල්කිස්ස වෙරළ තීරයේ වැලි කියුබික් මීටර එක් ලක්ෂ පනස්දහසක් ප්‍රමාණවත් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවෙදි අපි වැලි අයවැයක් කරනවා. වැලි අයවැයක් කරලා නැති නිසා අපිට හරියටම කියන්න බෑ කොතරම් වැලි අවශ්‍ය වෙනවද කියලා. මම දන්නවා පහුගිය අවුරුදු 40 පුරාවටම ගල්කිස්ස මුහුද කොහොමද තිබ්බේ කියලා. ලොකු වෙනස්කමක් නෑ. ඛාදනය වීමක් කොහෙවත් පෙන්නුම් කරන්නේත් නෑ. මුහුද ගොඩට ආපු තැන් තියනවා. ඒත් ඒවා පහුගිය අවුරදු 40 පුරාවටත් එහෙම තිබ්බා. කොහෙන්වත් සාධාරණීකරණය කරන්න බෑ මෙවැනි ව්‍යාපෘතියකට මෙතරම් සල්ලි වියදම් කරලා වැලි තැම්පත් කරන්න තරම් අවශ්‍යතාවක් නෑ.

වැලි පිරවීමෙන් පසුව සකස් කළ බව පෙනීයන මෙම වාර්තාවේ දැක්වෙන්නේ මෙම ව්‍යාපෘතියට ඩෙන්මාර්කයේ රෝඩ් නිල්සන් ආයතනයට කොන්ත්‍රාන්තුව ප්‍රදානය කළ බව ය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිර්මාණ හා පර්යේෂණ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් සකස් කළ මෙම වාර්තාවේ අදාළ ගෙවීම් කවර අංශ සඳහා නිකුත් කෙරුණා දැයි පැහැදිලි විස්තරයක් නොමැත.

ගල්කිස්ස වෙරළ තීරය ඉතාමත් ආකර්ෂණීය වෙරළ තීරයක්ව තිබුණි. එහෙත් දැන් මේක කසළ ගොඩක් බවට පත්ව ඇත. පෙර දවස්වල නම් දෙස් විදෙස් ජනතාව ඉතාමත් ආසාවෙන් මේ වෙරළ තීරය පුරාවට ඇවිද්දේ ය. ඒත් දැන් එය අසීරු ය.

දින දෙකක පමණ සිට ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගොඩගසමින් පවතින අතර නගර සභාවේ නිලධාරීන් පොලීසිය, ස්වෙච්ඡා සංවිධානවල සාමාජිකයින් එය පවිත්‍ර කළත් පසුදා නැවත දක්නට ඇත්තේ කසළ පිරි වෙරළ තීරයකි.

අදත් උදෑසනම වෙරළ තීරය පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

ගල්කිස්ස අවට මුහුදේ තවමත් කැළි කසළ පාවෙමින් තිබෙන අතර මුහුදු රළ සමග වෙරළ තීරයේ ගොඩ ගැසේ.

නිව්ස්ෆස්ට් ප්‍රශ්නය –

මොකක්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ?

පිළිතුර –

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

සාමාන්‍යයෙන් වාරකන් කාලය තුළදී කසළ යම් ප්‍රමාණයක් වෙරළ තීරයට පැමිණෙනවා. ඒ කසළ තුළ තිබෙන්නේ තැඹිලි කෝම්බ , භාවිතා කළ පාවහන්, ඒ වගේම ලී කැබලි, නමුත් මෙතන සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ මේවා යම්කිසි ආයතනයක් විසින් වෙන් වෙන් වශයෙන් එකතු කරන ලද ප්ලාස්ටික් පොලිතීන් ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ.

නිව්ස්ෆස්ට් ප්‍රශ්නය –

ඔබ සෘජුවම කියන්නේ කවුරුහරි කෙනෙක් මෙතන්ට කුණු දැම්මයි කියලාද ?

පිළිතුර –

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

අනිවාර්යෙන්ම. මෙතන අවට සිටින ජනතාවගෙන් මේ පිළිබඳව විමසුවොත් ඔවුනුත් පවසාවි පසුගිය වාරකන් කාලවලදී කිසිඳු මෙවැනි ආකාරයේ වෙන් කරන ලද ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණයක් මෙතනට පැමිණිලා නෑ. මේ තියෙන්නේ අපි පුරවන ලද වැලි තීරය. මේකට යම්කිසි හානියක් කිරීමේ අරමුණින් මේ ටික මුහුදට දැම්මාදෝ කියන සැකය අපිට තියනවා.

වන අරණ සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ මහතා

අපි පොඩි පරීක්ෂණයක් මේ සම්බන්ධව කළා. මේක ඇත්තටම මොරටුව මහ නගර සභාවෙන් නිර්මාණය කරපු බෑග් එකක්. කාලයක් තිස්සේ මේ බෑග් එක මුහුදේ තිබ්බානම් මේ විදියට නෙමෙයි මේ බෑග් එක තියෙන්නේ. මේක ගොඩක් දිරාපත් වෙනවා. මේකේ නිෂ්පාදිත වර්ෂය දැන් මේවගේ 2020 තුන් වැනි මාසයේ. මොරටුව, රත්මලාන, අගුලාන ඒ පැත්තෙන් මේ කුණු දැම්මා කියලා අපිට සැකයක් තියනවා.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා

අපි කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමගම මාර්තු 26ට පෙර අපි වියළි ආහාර ලබා දුන්නා. මොරටුවේ ජනතාව 9000කට. වියළි ආහාර සියලු දේවල් දැම්ම බෑග් එකක් තමයි ඒ අවස්ථාවේ පෙන්නුවේ. කසළ කළමනාකරණය කරාම ඒවා දාන්න තැනක් තියෙද්දි අපිට මුහුදට දාන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඕනම වෙරළ සංරක්ෂණ පරීක්ෂණයකට යටත්ව ඕනෑම පිරිස් බලෙත් එක්ක පරීක්ෂණයකට යටත්ව වගකීමෙන් කියනවා මොරටුව මහ නගර සභාව මෙහෙම වෙරළට කුණු දාන්නේ නැහැ කියලා

කවුරුන් කෙසේ කීවත් අවසානයේ සිදුව ඇත්තේ මහ ජනතාවගේ මුදල් වැය කරමින් මහ ජනතාවටම ගැටලු ඇති කිරීමක් නොවේද ?

පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සුන්දර වෙරළ තීරය මෙලෙස විනාශ වන ආකාරයෙන් කටයුතු කළේ, කවුදැයි හෙළිවන තෙක් එමෙන්ම මිලියන 890ක් කාබාසිනියා කළ වැලි පිරවීමේ ව්‍යාපෘතියෙන් අහිමි වූ මහජන මුදල් යළි අය කරගන්නා තෙක් ජනතාව සමග අප ද දැඩි අවදානයෙන්..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]