ෆ්ලොයිඩ් ඝාතන⁣යට සැක පොලිස් නිලධාරීන් අධිකරණයට

ෆ්ලොයිඩ් ඝාතන⁣යට සැක පොලිස් නිලධාරීන් තිදෙනෙකු පළමු වරට අධිකරණය හමුවට

by Staff writer 05-06-2020 | 9:42 PM

News 1st - ඝාතන⁣යට ලක් වූ අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක් සම්බන්ධ වූ විට ඔහුගේ මරණයට චෝදනා ලැබ සිටින නිලධාරීන් සිව්දෙනාගෙන් තිදෙනෙකු අධිකරණයට පළමු වතාවට ඉදිරිපත් කරණු ලැබිණි.

ඝාතන චෝදනා ලැබ සිටන අමෙරිකානු  පොලිස් නිලධාරීන් තිදෙනාටට ඩොලර් මිලියනයක ඇපයක් නිමය කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මෙම නිලධාරීන් තිදෙනාට දෙවන ගණයේ ඝාතනයකට සහයදීමේ චෝදනාව සහ දෙවන ගණයේ මනුෂ්‍ය ඝාතනයකට සහයදීමේ චෝදනා එල්ල වී තිබේ. ඔවුන්ගේ චෝදනා අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් ඔවුන් තිදෙනාට වසර 40 බැගින් වූ සිර දඬුවම් ලැබිය හැකිය. ඊට අමතරව විනාඩි 09 කට ආසන්න කාලයක් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල තම පාදයෙන්  සිර කරමින් සිටි ඩෙරික් ෂෝවින් පොලිස් නිලධාරියාට දෙවන ගණයේ මනුෂ්‍ය චෝදනා එල්ල වී ඇති අතර ඔහු සඳුදා දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. මෙම නිලධාරීන් 04 දෙනාම මේ වනවිට සේවයෙන් පහකර ඇත. මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් අනුස්මරණය කරමින් නිව්යෝර්ක් නුවරට දහස් ගණනක් එක් වූහ. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදර ටෙරන්ස් ෆොලියිඩ් එහිදී මෙසේ කියා සිටියේය. මගේ සහෝදරයා මට නැති වූවත් ඔහුගේ නාමය ජීවමානයි. මේ විරෝධතා පිළිබඳ මම ආඩම්බර වෙනවා. නමුත් සිදුවන විනාශය සම්බන්ධයෙන් මට ඇත්තේ කනස්සල්ලක්. මගේ සහෝදරයා මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. තව ත් එවැනි අනුස්මරණයක් ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත් වූ මිණි යැපලිස් නගරයේදී ද පැවැත් විය. එහිදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥයා වූ බෙන්ජර්මින් ක්රම්ප් මෙසේ කියා සිටියේය. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වූයේ මේ වනවිට ලොව පුරා පැතිරෙන වසංගතය නිසා නෙවෙයි. එය පැහැදිව කිව යුතුයි. අමෙරිකාවේ දශක ගණනාවක් තිස්සේ පැවැත්වෙන වසංගතයක් නිසා ඔහු ඝාතනය වුණා. ඒ තමයි ජාතිවාදය හා බෙදුම්වාදය. මේ වනවිටත් ජෝර්ජ් ෆ්ලොයිඩ් සිහි කරමින් විරෝධතා පා ගමන් සිදුවන අතර ඇතැම් ඒවට පොලීසිය බලය යොදා ප්‍රතිචාර දක්වා තිබේ.