ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මොකද වුණේ ?

by Staff writer 05-06-2020 | 9:47 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වූ ක්‍රිකට් විශ්වවිද්‍යාලයට සිදු වූයේ කුමක් ද?

මේ ඒ පිළිබඳ සිදු කරන විමසා බැලීමකි... 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසකට අධික මුදලක් වියදම් කළත්, කළ කිසිවක් නොමැත. ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වසර 30 කට වාර්ෂිකව රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසක් බැගින් ලබා ගැනීමටත් තව ත් ව්‍යාපෘති දෙකකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ගෙවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව 2017 අප්‍රේල් 22 පියවර ගත්තේ ය. පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව ගෙවීම් සඳහා ආදළ එම චෙක්පත් අත්අකුරින් ලියා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාවේ සඳහන් වේ. මෙහිදී අනාවරණය වූ තව ත් කරුණක් වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවර්ධන කමිටුවක් තිබියදී බාහිර ආයතනයක් ව්‍යාපෘති කළමනාකරු ලෙස පත්කර තිබීමය. උපාධි ප්‍රධානය කිරීමට අපේක්ෂිත ආයතනයක් විසින් අංක 1824/21 2013 අගෝස්තු 22 අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි හත්වන ඡේදය ප්‍රකාරව අයැදුම්පතක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වුව ද 2019 ජූනි 30 වන තෙක් එය සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්ව ඇති බව විගණනයේ සඳහන් වේ. විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ මූලික කටයුතු තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වියදම් කර ඇති මුදල හත්ලක්ෂ හත්දහස් පන්සීයකි. ‍ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදි කිරීමට අවශ්‍ය සේවා සැපයූ නීතිඥයවරයෙකුට රුපියල් 525,000 ගෙවීමට කටයුතු කර ඇත. ගිවිසුම්ගත දිනයේ සිට මාස 22 කට පසු එනම් 2019 මාර්තු මස 11 වැනි දින වසර 3 කට අදාළ බදු මුදල වූ රුපියල් 750,000 මුදලින් රඳවා ගැනීමේ බදු අඩු කිරීමෙන් පසු රුපියල් 675,000 චෙක් පතකින් ගෙවා ඇති අතර ඒ සඳහා පාදක වූ කරුණු විගණනයට අනාවරණය වී නැත. යෝජිත ක්‍රිකට් විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ කාල සටහනට අනුව 2018 සැප්තැම්බර් 26 වැනි දින මුල්ගල තැබිය යුතුය. නමුත් එය සිදු වුයේ නැත. 2019 අගෝස්තු මස පළමු වැනි දා දක්වා මූලික යටිතල පහසුකම් පවා සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්ව ඇති බවට විගණනයේ සඳහන් වේ. 2019 දෙසැම්බර් 31 දිනයට අදාළ ගෙවිය යුතු රුපියල් 190,935 වරිපනම් බදු ශේෂය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවට පත්ව ඇති බව අදාළ විගණනයේ කරුණු ඇතුළත් ය. එසේම විගණන වාර්තාවේ දැක්වෙන්නේ, ක්‍රිකට් විශ්වවිද්‍යාලයට මෙතෙක් කළ වියදම්වලින් කිසිදු ප්‍රයෝජනයක් අත්වී නොමැති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2572859716363405/