ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

by Staff writer 05-06-2020 | 12:34 PM
COLOMBO (News 1st) : ලෝක පරිසර දිනය, අදට යෙදී තිබේ. 1972 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක පරිසර දිනය මෙවර සැමරෙන්නේ ජෛව විවිධත්වය - පරිසරයට ඉඩක් යන තේමාව යටතේයි. පරිසරය හා මිනිසා අතර ඇත්තේ බිඳ නොහැකි සබඳතාවකි. වසර ලක්ෂ ගණනක් තිසේසේ පැවති මෙම සබඳතාව වර්තමනය වනවිට පත්ව ඇති අභියෝගයට සවිමත්ව මුහුණ දිමේ අරමුණින් මෙවර සැරෙන්නේ 47 වැනි ජගත් පරිසර දිනයයි. මානව වර්ගයා ප්‍රමුඛ , බිලියන සංඛ්‍යාත ජීවින් වෙත නිර්ලෝභීව දායාද ලබා දෙන සොබාදහම සුරැකීම,ප්‍රඥප්තියකට හෝ එක් දිනකට සීමා විය යුතු නැති බව පරිසරවේදීන් අවධාරණය කරන කරුණකි. අප මේ පැමිණ සිටින්නේ, මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වාම ස්වාභාවික සමතුලිතාවට ඉවහල් වූ ස්වාභාවික ප්‍රාග්ධනය වන, වන සම්පත මෙන්ම වන ජීවීන්ද පැවැත්මේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති වකවානුවකටයි. මෙරට ජෛව විවිධත්වයෙන් අනූන දූපතකි. එහෙත්, වර්තමානයේ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට පරිසරයට එල්ල වන බලපෑම් සුළු පටු නොවේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට වන වැස්මට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතා සඳහන් කළේ ය.