ලෝක පරිසර දිනයේ  ගල්කිස්ස වෙරළට සිදු වූ දේ..

ලෝක පරිසර දිනයේ සුන්දර ගල්කිස්ස වෙරළට සිදු වූ දේ..

by Staff writer 05-06-2020 | 10:34 PM

COLOMBO (News 1st) - පරිසර දිනය කියන්නේ පරිසය ගැන සොයා බලන දිනය නම් අනිවාර්යෙන්ම යා යුතු තැනක් වන්නේ ගල්කිස්ස වෙරළ තීරයයි.

මේ වනවිට ගල්කිස්ස වෙරළ කියන්නේ සල්ලි ගිලලා කුණු වමාරපු තැනක්. මොකක්ද මේ ව්‍යාපෘතිය ?? මේ දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය. එය කොටස් තුනකින් සමන්විතයි. කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් සංවර්ධනය කිරීම ඒ යටතේ සිදුවේ. මේ ව්‍යාපෘතිය සඳහා කොපමණ මුදලක් වැය වුණා ? ව්‍යාපෘතියේ සමස්ත කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 890 කි. මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණේ, ඩෙන්මාර්කයේ සමාගමකටයි. මේ ව්‍යාපෘතියේ අරමුණ මොකක් ද? වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ලිලානි රුහුණුගේ මහත්මිය, (වෙරළ සංවර්ධන, නිර්මාණ හා පර්යේෂණ)
බටහිර වෙරළ තීරයේ වැලි ප්‍රවාහය තියෙන්නෙ උතුරු දෙසට, ඒක නිසා අපි අඟුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයන් දෙක වැලි පෝෂණය කරන්න, යාන්ත්‍රික වැලි පෝෂණ ක්‍රමය යොදා ගත්තා. ඒවා ක්‍රමයෙන් ඛාදනය වන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි නිර්මාණය කළේ. අඟුලාන ප්‍රදේශයට අපි වැලි ගැහුවේ රත්මලාන වෙඩිකන්ද සහ ඒ ප්‍රදේශවල තමයි වෙරළ ඛාදනය තිබුණේ. ඊට දකුණු දෙසින් රත්මලාන ස්ටේෂන් ප්‍රදේශය තමයි අපි වැලි පෝෂණය කළේ. දැන් වෙනකොට ඒ වැලි උතුරු දෙසට ගිහිල්ලා ඛාදන තත්ත්වය අඩු වෙලා තියෙනවා. ඒ එක්කම වෙරළ තීරය නිර්මාණය වීමකුත් අපිට දකින්න ලැබෙනවා.
ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිඵල අත්වුණා ද? ස්වභාවික වෙරළ තීරය කෘත්‍රීම ස්වභාවයක් ගැනීම මේ යටතේ සිදුවනු ඇතැයි ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියරච්චි, සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා දි වොස් සහ නාඩියා අස්මි විසින් කළ වාර්තාවේ දත්ත සාක්ෂි දරයි. “ගල්කිස්ස වෙරළේ ඛේදවාචකය” නැමති එම වාර්තාවක සඳහන් වන්නේ, ප්‍රමාණවත් සැලසුම් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවය. ඕස්ට්‍රේලියානු බටහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටියරච්චි,
මේක සම්බන්ධව කිසිම අධ්‍යනයක් හෝ පරිසර ඇස්තමේන්තුවක් සිදුවෙලා නැති බව අපි දන්නවා. කොහෙවත් සාක්ෂියක් නෑ ගල්කිස්ස වෙරළ තීරයේ වැලි කියුබික් මීටර එක් ලක්ෂ පනස්දහසක් ප්‍රමාණවත් කියලා. සාමාන්‍යයෙන් මේ වගෙ වේලාවෙදී අපි වැලි අයවැයක් කරනවා. වැලි අයවැයක් කරලා නැති නිසා අපිට හරියටම කියන්න බෑ කොතරම් වැලි අවශ්‍ය වෙනවද කියලා. මගේ වෘත්තීමය අදහස වනනේ මෙයින් බලාපොරොත්තු වෙන ප්‍රතිපළය ලැබෙන්නේ නෑ. මොකද මේක හරියටම නිර්මාණය වෙලා නෑ. අපි දැන් හිතන්න ඕනේ මොකද කරන්නේ කියලා, දැන් සල්ලි වියදම් කරලාත් ඉවරයි, වැලි තැම්පත් කරලාත් ඉවරයි. අපේ මූලික අධ්‍යනයක් පෙන්වා දෙන්නේ මේ වැලි ක්‍රමක්‍රමයෙන් පිටතට යන බව. මේවා දෙහිවලදී කොරල්පර වලටත් බලපාන්න ඉඩ තියනවා. අපි අනිවාර්යෙන්ම එය අධ්‍යනය කරන්න ඕනේ ඒත් කළ හැකි දෙයක් නැහැ. අවුරුද්දක් දෙකක් හෝ මෝසම් කාල සීමා දෙකක්වත් යයි ව්‍යාපෘතිය පටන් ගද්දි තිබිච්ච තැනට යන්න. කිසිම වෙනසක් වෙන්නේ නැති වෙයි, සල්ලි වියදම් වුන එක විතරක් වෙයි. මම දන්නවා පහුගිය අවුරුදු 40 පුරාවටම ගල්කිස්ස මුහුද කොහොමද තිබ්බේ කියලා. ලොකු වෙනස්කමක් නෑ. සුනාමියක් ඇති වුනා, ඒ හා සමානව වෙනස්කම් ඇති වෙච්ච එක ඇත්ත. නමුත් චන්ද්‍රිකා ඡායාරූප එහෙම ප්‍රශ්නයක් පෙන්නුම් කරන්නේ නෑ. ඛාදනය වීමක් කොහෙවත් පෙන්නුම් කරන්නේත් නෑ. මුහුද ගොඩට ආපු තැන් තියනවා ඒත් ඒවා පහුගිය අවුරදු 40 පුරාවටත් එහෙම තිබ්බා. කොහෙන්වත් සාධාරණීකරනය කරන්න බෑ මෙවැනි ව්‍යාපෘතියකට මෙතරම් සල්ලි වියදම් කරලා වැලි තැම්පත් කරන්න තරම් අවශ්‍යතාවක් නෑ.
ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩ ගැසී ඇති කසළ ඉවත් කිරීම අද උදෑසන සිට සිදු වුණේ පොලීසියේ මෙහෙය වීමෙනි. ඒ සඳහා මහ නගර සභා සේවකයින් මෙන්ම ස්වෙච්ඡා සංවිධානවල පිරිස් ද එක්ව සිටියහ. කෙසේවෙතත් අප එහි යන විටත් ගල්කිස්ස අවට මුහුදේ තව ත් මෙවන් කැලි කසළ පා වෙමින් තිබුණි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,
අපි මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. මේ ආකාරයේ විශාල කැලි කසළ ප්‍රමාණයක් මුහුදට එකතු වුනේ කෙසේද කියලා. ඇත්තවශයෙන්ම ජල මාර්ගවලට සහ ඇල මාර්ගවලට අපරීක්ෂාකාරී ලෙස කවුරුහරි පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් බැහැර කරන බව නිරීක්ෂණය වුනොත් අපිට පුළුවන් පැහැදිලි නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම කර්මාන්තශාලාවලින් හෝ මේ වගේ සමුද්‍රයට හෝ ජල මාර්ගවලට කැලි කසළ එකතු කරන බවට අපිට නිරීක්ෂණය වුනොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
https://www.facebook.com/NewsfirstSL/videos/633020254089685/