by Staff writer 05-06-2020 | 9:53 PM
COLOMBO (News 1st) - 2016 වසරේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පවරාගත් ඉඩම්වලට තවමත් වන්දි මුදල් ලබාදී නැතැයි එම ඉඩම් අහිමි වූ පිරිසක් චෝදනා කරමින් පවසයි.
2014 වසරේ සැළසුම් කර තිබු පොතුහැර සිට ගලගෙදර බඹරගහකන්ද දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා 2016 වනතුරු ඉඩම් පවරාගැනීම් සිදු කෙරිණි.
මුල් අදියරේදී මැනුම් කටයුතු අවසන් කර ඉඩම් සහ දේපොළ සඳහා නිසි තක්සේරුවක් ලබාදුන් නමුත් පසුව එම තක්සේරුව අවතක්සේරුවක් බවට පත් වූ බව අධිවේගී මාර්ගයට ඉඩම් ලබාදුන් පුද්ගලයින් චෝදනා කරමින් පවසයි.
සාදික්කා, කරාබු, ගම්මිරිස්, පොල්, පුවක් ආදී සියලු බෝගවලින් සශ්‍රීක හා ඒ මත ජීවනෝපාය මාර්ගය ගොඩනගා ගත් ගලගෙදර, මඩිහේ, ගලබාව, පුබ්බිලිය, කහපත්වල, මලන්දෙණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පවුල් විශාල ප්‍රමාණයක් මේ ගැටලුවෙන් පීඩාවට පත්ව සිටිති.
මුල් අදියරේ වන්දි ලැබුණු පුද්ගලයින් මේ වනවිට නිවාස ද අතහැර ගොස් ඇති අතර මෙතෙක් වන්දි නොලැබුණු බොහෝ දෙනෙකුට අධිවේගී මාර්ගය ඉදිකිරීම් අවසන් කරන දිනයක් හෝ වන්දි ලැබෙන දිනයක් ගැන වගකිවයුතු පාර්ශව සහතිකයක් දී නොමැත.
එවන් පසුබිමක උපන්දා සිට හැදුණු වැඩුණු භූමිවල සිටින මේ වැසියන්ට ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
මෙම අදියරේ වැඩ ආරම්භ කිරීමට පෙර සාධාරණ වන්දියක් ලබා ගැනීම මේ ජනතාවගේ අපේක්ෂාවයි.