තවත් මාස 3කට වියදම් සඳහා රු. බිලියන 1043ක්

තවත් මාස 3කට රුපියල් බිලියන 1043ක් වියදම් කිරීමට ජනපති බලය දෙයි

by Staff writer 05-06-2020 | 10:50 PM

COLOMBO (News 1st) - තව ත් මාස 3 ක කාලයකට රුපියල් බිලියන 1043 ක රජයේ වියදම් සඳහා ජනාධිපතිවරයා බලය ලබාදී තිබේ.

ව්‍යවස්ථායේ 150 තුන වගන්තිය අනුව ජනාධිපතිවරයා නිකුත් කර නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාත්‍යාංශවලට වෙන්කර ඇති ප්‍රතිපාදන ඇතුළත් අයවැය චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජුනි 1 වැනි දා සිට අගෝස්තු 31 දක්වා මාස 3 ක කාලයකට රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043 ක මුදල වෙන්කර තිබේ. මුදල් වෙන්කිරීම පිළිබඳව චක්‍රලේඛයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් අතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත්තේ වියදම් සීමා කරන ලෙසයි. කොවිඩ් වසන්ගතය හා කාලගුණ වෙනස්වීම් මත පැනනැගී ඇති ආපදා හේතුවෙන් රජයේ වියදම් ඉහළ ගොස් ඇති අතර ව්‍යවස්තාපිත සීමා නිසා ණය ගැනීම ද සීමාවී ඇතැයි ආටිගල මහතාගේ චක්‍රලේකයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේ රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගනැමේ දැඩි අවශ්‍යතාවක් පැනනැගී ඇති බවයි. මෙම කාලය තුළ වියදම් දැරිය යුත්තේ මේ වන විටත් වැඩ ආරම්භ කර ඇති තව දුරටත් පවත්වාගෙන යා යුතු ප්‍රමුඛ අවශ්‍යතාවක් වන වැඩසටහන් ව්‍යපෘති සඳහා පමණක් බව එහි අවධාරණය කර ඇත. මේ අතර නව කාර්ය මණ්ඩල වියදම සහ නව ව්‍යාපෘති සම්බන්ධයෙන් බැදීම් ඇතිකර නොගන්නැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්නට යැවූ චක්‍රලේකයේ සඳහන් වේ. මාස තුනක කාලයක් සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 1043 ක මුදලින් බිලියන 644.19 ක්ම වෙන්කර ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් ඇතුළු එදිනෙදා වියදම් සඳහායි. රුපියල් බිලියන 546.18 ක් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇත. බිලියන 486.1 ක්ම වෙන්කර ඇත්තේ මහා භාණ්ඩාගාර මෙහෙයුම් සඳහායි. මෙම චක්‍රලේඛයෙන් දෙවන වැඩිම වැය ශිර්ය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙන්කර ඇති අතර එම මුදල රුපියල් බිලියන 154 ක්. ඉන් බිලියන 69.8 ක් වෙන්කර ඇත්තේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටයි. ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 107.27 කට ආසන්නයි. රුපියල් බිලියන 5.17 කට ආසන්න මුදලක් මැතිවරණ කොමිසමට වෙන්කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/730645334411483/