උතුම් වූ පොසොන් පුන් පොහොය අදයි

උතුම් වූ පොසොන් පුන් පොහොය අදයි

by Staff writer 05-06-2020 | 7:05 AM
COLOMBO (News 1st) : මෙරට සම්බුදු දහමෙන් ඒකාලෝක වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. මෙවර සැමරෙන්නේ මහින්දාගමනය සිදුව 2328 වැනි පොසොන් පොහෝ දිනයයි. කොරෝනා ව්‍යාප්තියත් සමග පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට ගරු කරමින් මෙවර පොසොන් පොහොය සමරන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සැදැහැවතුන්ට සිහිපත් කරයි. මේ අතර රාජ්‍ය පොසොන් උත්සවය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. මිහින්තලා ආලෝක පුජාව ද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ ය. පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, සෞභග්‍යවත් දේශයක් කරා රට මෙහෙයවන්නේ අතීතයෙන් ලද අත්දැකීම්වලින් හා බුදුදහමෙන් ලද ආභාසයට අනුගතව බවයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සැමට සාධාරණය ඉටුවනුයේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක බව තම විශ්වාසය බවයි. රජය වර්තමානයට පමණක් නොව අනාගතයටද සැලසුම් ක්‍රියාත්මක කරන්නේ එකී පදනම මත පිහිටා බවද ජනාධිපතිතුමා සිය පොසොන් පොහෝ දින පණිවුඩයෙන් අවධාරණය කරයි. මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, කොරෝනා වසංගතය ජයග්‍රහණයේ මාවතකට යොමු කිරීමට හැකිවූයේ රටක් ලෙස එක්වන්ව කටයුතු කළ නිසාත්, බුදු දහමේ පෝෂණය මත පිහිටා ගුණදහම් හා වත් පිළිවෙත් සපිරීම නිසා බවයි. මෙම වසංගතය සහමුලින් පරාජය කිරීමට ජාතියක් ලෙස ඉදිරියට යාමට හැකි බව තම විශ්වාසය බව ද අග්‍රාමාත්‍යවරයා සිය පොසොන් පොහෝ දින පණිවුඩයෙන් අවධාරණය කරයි. මේ අතර හිටපු විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ලෝකයේ මහත් ව්‍යයසනයක ගිලී සිටින මෙම අවස්ථාවේ යළි නැගී සිටීමට බුදු දහමෙන් මග කියාදෙන බවයි. කොරෝනා ව්‍යයසනය පරයා නැගී සිටීමේ ශක්තිය මුළු මහත් මිනිස් සමාජයටම උදාවේවා යැයි සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් පොහෝ දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.