ඩොනල් ට්‍රම්ප් විවේචනය කළ හිටපු ආරක්ෂක ලේකම් 

අමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ඩොනල් ට්‍රම්ප් විවේචනය කරයි

by Staff writer 05-06-2020 | 9:31 PM

News 1st - අමෙරිකානු හිටපු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් විරෝධතා මැඩ පැවැත්වීමට හමුදාව යෙදවීමට ගත් තීරණය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා කළක් ඩොනල් ට්‍රම්ප් සමග ළඟින්ම ආශ්‍රය කළ ඉහළ නිලධාරියෙකි. අමෙරිකානු හිටපු ආරක්ෂක ලේකම්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නායකත්වය විවේචනය කරමින් මෙසේ සිටියේය. 
මම අවුරුදු 50 කට පෙර හමුදාවට බැඳුණේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමිනි. සේනාධි නායකයා වන ජනාධිපතිවරයාට ඡයාරූපයක් ගැනීමට මා දුන් එම ප්‍රතිඥාවම දී සිටින හමුදා නිලධාරීන්ට නියෝග කරනවා පුරවැසියන්ගේ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිය උල්ලංඝණය කරන්න. අමෙරිකාවේ නගර යුද බිමක් ලෙස සළකා හමුදාව යොදවා යටත් කිරීමේ මානසිකත්වය අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. අප සිවිල් භූමිය තුළ හමුදාව කැඳවිය යුත්තේ ඉතාම අමාරු අවස්ථාව ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඉල්ලා සිටියොත් විතරයි. වොෂින් ඩී සී නගරයට පසුගියදා හමුදාව කැඳවීම නිසා සිදු වූ අනවශ්‍ය ගැටුම අපි දැක්කා. මේ විදිහට මිලිටරි ප්‍රතිචාර දැක්වීමෙන් අමෙරිකානු සිවිල් සමාජයත් හමුදාවත් අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවෙනවා. එසේ වීමෙන් සිදුවන්නේ සිවිල් පුරවැසියන් හා නිල ඇඳුමින් සැරසුණු ආරක්ෂක අංශ සමාජිකයින් අතර ඇති සබඳතාව පළුදු වීමයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී තවදුරටත් මෙසේ කියා සිටියේය. 
නිකමට හෝ ජනතාවට එක්කාසු කිරීමට උත්සාහ නොගන්නා ඩොනල් ට්‍රම්ප් වගේ ජනාධිපතිවරයෙක් මගේ ජීවිත කාලය තුළ දැකලා නෑ ඔහු හදන්නේ අපිව වෙන් කරන්න. අවුරුදු 3 ක් තිස්සේ ඔහු මේ දේ කරනවා එකේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට අපිට මුහුණපෑමට සිදුව තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ  අවුරුදු 3 ක කාලයක පරිණත නොවු නායකත්වය නිසා. දැන් අපිට අපේම ශක්තිය පාවිච්චි කරලා ඔහු නැතුව එක්සත් වෙන්න පුළුවන් පසුගිය දිනවල සිදු වූ සිද්ධි සමග අපිට එක්සත් වීම පහසු කාර්යක් නොවුණත් අතීතයේ අපේ මුතුන්මිත්තන් වර්තමානයේ අපේ ජනතාව හා අනාගතයේ අපේ දරු පරපුර ගැන සිතා එක්සත්වීමේ අභියෝගය භාරගත යුතුයි.
අවසාන වශයෙන් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. 
සෙන් ලුවිස් ලෙෆායට් චතුරඝ්‍රයේ සිදු වූ අවාසනාවත්ත ගැටුම් ව්‍යවස්ථාමය බලය විධායක විසින් අපයෝජනයට ලක් කිරීමක් ලෙසයි මම දකින්නේ. එහෙත් අමෙරිකානු පුරවැසියන් ලෙස අපි සිටින්නේ මනුෂ්‍යත්වයේ ඉතා ඉහළ තැනකයි ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සරදමට ලක්කරන පුද්ගලයින් ප්‍රතික්ෂේප කළ යුතුයි. එමෙන්ම ඔවුන් ඊට වගවිය යුතු බව ද අවධාරණය කළ යුතුයි. ඒබ්‍රිහම් ලින්කන් ජනාධිපතිවරයා සිය පළමු කතාවේ කිව්වා යහපත් දේව දූතයන් කියන දේ අප ඇසිය යුතු බව ඒ හරහා අප එක්සත් විය යුතු බවත් ලින්කන් ජනාධිපතිවරයා කියා සිටියා. ලින්කන් ජනාධිපතිවරයා එලෙස පෙන්වන අඩිතාලම මත අපිට නැවතත් වැරදි නිවැරදි කර ගනිමින් සත්‍ය හා නිවැරදි මාර්ගයේ ගමන් කළ හැකියයි මා විස්වාස කරනවා. ඒ හරහා පමණයි අමෙරිකානු ජාතිය දේශීයව හා විදේශීයව ගෞරවයට පාත්‍රවන රටක් බවට පත්විය හැක්කේ.
වත්මන් ආරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා ද ජනාධිපතිවරයාගේ තීරණවලට එකඟ විය නොහැකි බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.
හමුදා භටයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ලෙස අනියුක්ත කිරීම මෙවන් අවස්ථාවලදී අවසන් ක්‍රමවේදයක් විය යුතුය. නමුත් හමුදාව අනියුක්ත කිරීමේ අවස්ථාවකට අපි තවමත් අවතීර්ණ වී නැත. ඒ නිසා ඊට සම්බන්ධ නීතිවලට මම සහයෝගය දක්වන්නේ නැත.