COLOMBO (News 1st) - කටුනායක ගුවන් තොටුපොළේදී PCR පරික්ෂාව ප්‍රතිපක්ෂේප කරමින් රටට ඇතුළු වූ අමෙරිකානු තානාපති කාර්යාල සේවකයා සම්බන්ධයෙන් මෙරට බලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් සිටී.
කටුනායක ගුවන්තොටුපොළට ඊයේ(04) අලුයම 1.30 ට පමණ කටාර් සිට පැමිණි ගුවන් යානයක සිටි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කර රටට ඇතුළු වී තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය එහිදී පැවසුවේ තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා ජාත්‍යන්තර සම්මුතිය, ප්‍රමිතීන් හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදුවන බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
"නෑ මෙහෙම එසේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නෑ. මොකද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළට අවනත වෙන්න ඕනේ. "
නමුත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා අද පැවසුවේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මෙරට සිටින විදේශ ධූත මණ්ඩල නියෝජිතයින් මීට පෙර දැනුවත් කර නොතිබූ බවයි.
අද දිනයේ ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.
විදේශ ලේකම්වරයා අද එසේ පැවසුවත් කොරෝනා වසංගත තත්ත්වය ආරම්භවීමත් සමග පසුගිය මාර්තු මාසයේ 27 වැනිදා මෙරට සිටින සියලුම විදේශ ධූත මණ්ඩලවලට විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් යවා තිබුණි.
එහි සඳහන් වූයේ 1962 රෝග නිවාරණ හා නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය අඅමාත්‍යංශය සහ අනෙකුත් සියලුම බලධාරීන් නිකුත් කරන උපදෙස් දැඩිලෙස අනුගමනය කරන ලෙසය.
රටේ ස්වෛරීභාවයට ප්‍රමුඛතාව දෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ ධූත මණ්ඩලවලට එම චක්‍රෙල්ඛයෙන් පැහැදිලිව දැනුම්දී තිබුණි.
චක්‍රලේඛයේ සඳහන් වූයේ එම ප්‍රතිපත්තිය රටට පැමිණෙන සියලු විදේශිකයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුවන බවයි.
රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය කෙසේ වෙතත් , පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව රජය ක්‍රියාකිරීමට බැඳී සිටින බව එහි අවධාරණය කර තිබේ.
එසේ තිබියදී අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කර රටට ඇතුළු වූයේ කුමන බලයක් යොදාගෙනද?
අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව වියානා සම්මුතිය අනුව තම කාර්යය මණ්ඩලය කටයුතු කරන බවය.
රාජ්‍ය තාන්ත්‍රිකයා තානාපති මුක්තිය භුක්ති විදිය යුත්තේ සේවය කරන රටේ නීති හා රීතිවලට ගරු කරමින් බව වියානා සම්මුතියේ 41 වන වගන්තියේ පලවන ඡේදයේ සඳහන් වේ.
රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ද එම වගන්තියේ නිශ්චිතව සඳහන් කර තිබේ.
රටක නීතිය නොසළකා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන තානාපතිවරයෙකු හෝ තානාපති කාර්යාල නිලධාරියෙකුගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අහෝසි කර රටින් පිටකළ හැකි බව වියානා සම්මුතියේ 9 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වේ.
මෙම සිදුවීම අද රටේ ප්‍රධානතම දේශපාලන මාතෘකාවක් බවට ද පත්වී තිබේ.
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා
"දැන් ලංකාව බැඳී ඉන්නවා විදේශ තානාපති කාර්යාලවල රාජතාන්ත්‍රික නියෝජිතයන්, රාජතාන්ත්‍රික පුද්ගලයන් තමන්ගේ රටට එනකොට එ අයට ලබාදෙන්න ආවරණයක්. ඒ ආවරණයට අපි කියනවා මුක්තිය කියලා. ඒ මුක්තිය තියෙනවා ඒ අයට විරුද්ධව නඩු නොපැවරීමට. අපරාධ නඩුවක් නම් ඇර. ඒ අයට මුක්තිය තියෙනවා විවිධාකාර නියමයන්ට මේ රටේ නිතියෙන් අපි ක්‍රියාත්මක කරන යටත් නොවීමට. නමුත් ශීලාචාර රටවල් ඒ මුක්තිය පාවිච්චි කරන්නේ නෑ. ශීලාචාර රටවල් අපි එවැනි මුක්තියක් ඉල්ලන්නේ නෑ. අපෙන් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට උත්තර කියන්න අපි ඉදිරිපත් වෙනවා කියලා ඒ අය ඉදිරිපත් වෙනවා. නමුත් එහෙම ශීලාචාර කමක් නෑ. මේ රටේ වෛද්‍ය පරීක්ෂණය මේ තරම් කොරෝනා වසංගතයක් ලොව පුරා පැතිර යද්දි එය වැළැක්වීමට ගන්නා වූ පියවරක්. ඔහු වෛද්‍යවරයෙක් නොවෙයි. ඔහු පරීක්ෂණයක් කරලා ආපු බවක් කිව්වේ නෑ. මේ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම ලෝක සෞඛ්‍ය පද්ධතියටම ලෝක සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට මොහු කරපු අභියෝගයක්. මේ ගැන අපි හිතන්නේ රාජතාන්ත්‍රික විරෝධයක් පළ කළ යුතුයි. ඔහු පරීක්ෂණයක් පවත්වා නැත්නම් අපි අමෙරිකානු තානාපති කාර්යාලයට බලකර කියන්න ඕන ලංකාවට අනතුරක් මොහු ලංකාවේ ඇවිදින්න යාම ලංකාවේ කටයුතුවලට සහභාගී වීම. මොහු පරික්ෂණයක් කළ යුතුයි. ඒ බල කිරිම කරන්න ඕන."
ප්‍රශ්නය - " දැන් මේ වියානා සම්මුතියෙත් තියෙනවා නේද , මේ සම්බන්ධයෙන්?"
පිළිතුර -
"සම්මුතීන් තියෙනවා ජාත්‍යන්තරව අනන්තවත්, ඒවායේ තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ට මුක්තියක් තිබෙනවා. නමුත් ඒ හැම රටකම සෞඛ්‍ය පිලිබඳව තියෙන ජාත්‍යන්තර සම්මුතීන්වල තියෙනවා හැම කෙනෙක්ම එය අනුගමනය කළ යුතුයි පිළිපැදිය යුතුයි කියලා. එකෙදී අර රාජ්‍යතාන්ත්‍රිකයන්ට තියෙන මුක්තිය අත්හැරිලා නෑ."
ප්‍රශ්නය - "දැන් මේ පුද්ගලයා සමහරවිට ඉදිරියේදි අගමැතිතුමාව ජනාධිපතිතුමාව හම්බුවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔහුට වෛරසය තිබුණොත්?"
පිළිතුර -
" වෛරසය බෝ කරලා ලංකාවට එව්වද දන්නෑ. පරීක්ෂණයට යටත් නොවී ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ අපි ලංකාවේ කළමනාකරණය කරන මේ වසංගත රෝගය නැවත බෝ කරන්න ඔහුට පුළුවන් මට්ටමින්. මම එහෙම චෝදනා කරන්නේ මගේ සැකය ඒ තරම්. විශේෂයෙන්ම මේ ට්‍රම්ප්ගේ පාලනය මේක අතිදක්ෂිණාංශික පාලනයක්. මොවුන් ඉන්නේ යුධ වියරුවකින්. අද තියෙන ලෝක ආර්ථිකය අර්බුදය තුළ ආයෙමත් ලෝකයේ සම්පත් යුක්තියක් කරා බෙදාගෙන නැවත අලුත් පිම්මක් ඉදිරියට යාම ඇර ඒගොල්ලොන්ට වෙන මාවතක් නෑ. ඒ නිසා අද අමෙරිකානු එක්සත් ජනපදය ලෝකයටම තර්ජනයක්."
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා
"අපි දන්නවා ලෝකයේ වැඩියෙන්ම කොරෝනා මරණ සිද්ධවෙන රට අමෙරිකාව. ඒවාගේම ලෝකයේ වැඩිම කොරෝනා වැළදිච්ච පිරිස ඉන්න රට අමෙරිකාව. එතකොට ඒ රටෙන් තමයි ගාල කඩාගත්ත කෙනෙක් අපේ රටට ඇතුළු වෙන්නේ. අපි දන්නවා මේ දෙකෝටි විසි ලක්ෂයගේ ඔලුවට තමයි අමෙරිකාව අත හෝදන්නේ. එහෙම රටවල් බාල්දු කරන්න දෙන්න බෑ. ඔහු හිතන් ඇති ගෝඨාභය මහත්තයා අපේ රටේ හිටිය පුද්ගලයා. බැසිල් අපේ පුද්ගලයා. ගෝඨාභය මහත්තයාගේ දරුවො බිරිඳ අපේ රටේ පුද්ගලයෝ. ඒක නිසා මේක කොලනියක්. ඕන විදියට යන්න ඕන විදියට එන්න පුළුවන් කියලා. ඒවාගේම අපි මතක් කරන්න ඕනේ. මේ සිද්ධිය පහුගිය දවස්වල වුණානම් මොකද වෙන්නේ. වීරවංශලා , ගම්මන්පිල, වියත්මග ඒ හනුමෝ වලිගෙට ගිනි තියාගෙන මේ රටම ගිනිබත් කරනවා. කෝ වීරවංශ කෝ ගම්මන්පිල අද පශ්චාත් භාගේ එළියේ තියාගෙන ඔලුව වැල්ලේ ගහගෙන ඉන්නවා ලැජ්ජයි. හිරිකිතයි. නින්දිතයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. "
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා
"ඇයි ඇමරිකන්කාරයින්ට මෙච්චර බය මේ ආණ්ඩුව. ඇයි ඇමරිකන්කාරයාට එක නීතියක් මුන්ට කොනදක් නෑ ආණ්ඩුවට ඒ ආපු එකා පරික්ෂා කරන්න. අපේ මාතෘ භූමියේ උපන් මිනිස්සු පිටරට ඉදලා ආවම අරාබිකරයේ ඉදලා ආවම ඒ උදවියගෙ පී සී ආර් පරික්ෂණ ඒවා කරලා නිරෝධායනට කරන්නත් යනවා දවස් 21 ක්. ඇමරිකන්කාරයාට මේවා නෑ. අමෙරිකාවෙ ගිවිසුම අත්සන් කරලාද? අමෙරිකාවත් එක්ක රහස් ගිවිසුමක් ගහලාද? ශ්‍රී ලාංකිකයිනි නමස්කාර කරලා මං ඉල්ලිමක් කරනවා පෙරමුණ ගනිල්ලා සිංහලයෙනි මේකට විරුද්ධව කියලා මම රජරට ඉදලා මේ ආමන්ත්‍රණය කරන්නේ අපේ රටේ ජනතාවට."
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඔහු ඉන් දක්වා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අමෙරිකානු රාජත්‍රාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තමා කනස්සල්ල පළ කරන බවයි.
වියානා සම්මුතිය පැවතියත්, නොපැවතියත් ගෝලීය වසංගතයක් පවතින තත්ත්වයක ජීවිත සුරක්ෂිත භාවය වෙනුවෙන් තවත් රටක නීති රාමුවට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිකුත් කළ ටිව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
අමෙරිකානු තානාපති නිලධාරියා සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ සේවකයින් ක්‍රියාකළ අකාරය පැසසිය යුතුයි.
මොහු PCR පරීක්ෂණයට ලක්කරමින් නිසි සෞඛ්‍ය මගපෙන්වීම් අනුගමනය කිරීමට ඔවුන් උපරිම උත්සාහ දරා තිබුණි.
නමුත් රාජ්‍ය තාන්ත්‍රික අයිතීන් යොදාගෙන රටේ සෞඛ්‍ය රෙගුලාසි අභිබවා අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා අවසානයේ ක්‍රියාකිරීම රටේ ජනතාවගේ දැඩි අවධානයට ලක්වී තිබේ.
ගෝලීය වසංගත තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රියා නිසා රට තුළ නැවතත් වසංගත අවධානමක් මතුවුණොත් එහි වගකීම ගන්නේ කවුද?
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මව්බිමට පැමිණීමේදී විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම නිසා ආසාදිතයින් පැමිණියත් එය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
එහෙත් රටේ සෞඛ්‍ය රෙගුලාසි නොතකා රාජ්‍ය තාන්ත්‍රිකයින් බලය යොදන්න ගියොත් කුමක් සිදුවෙයිද?
අපට වාර්තාවන පරිදි ඉදිරියේදී තවත් මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් කටාර් හරහා මෙරටට පැමිණීමට නියමිතය.
තවදුරටත් මෙවැනි සිදුවීම්වලට ඉඩ දිය යුතුද?
https://www.facebook.com/NewsfirstSL/videos/281552729897865/