ඇ. තානාපති නිලධාරීයෙක් පරීක්ෂණවලින් තොරව මුදා හැරේ

අමෙරිකානු තානාපති නිලධාරියෙක් PCR පරීක්ෂාව එපා කියමින් රටට ඇතුළු වෙයි

by Staff writer 04-06-2020 | 2:53 PM
COLOMBO (News 1st) : කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී කෙරෙන PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් අද අලුයම රටට ඇතුළු වී තිබේ. මේ පිළිබඳව අප කළ විමසීමකදි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සුරියආරච්චි මහතා ප්‍රකාශ කළේ, ඔහු තානාපති වරප්‍රසාද යටතේ පරීක්ෂණ සිදු නොකර මුදා හැරිය බවයි. අද අලුයම 1 .30 ට පමණ කටාර් ගුවන් සේවයට කිව් ආර් 668 දරණ යානයෙන් අමෙරිකානු තානාපති නිලධාරියා මෙරටට පැමිණ තිබිණ. මේ අතර විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, සාමාන්‍ය මගීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බවයි. අදාළ නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු කිසිදු අයෙකු තමන් තවමත් දැනුවත් කර නොමැති බවද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පැවසුවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයාගෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙසයි. නමුත් ගුවන්තොටුපළට පැමිණි පුද්ගලයෙකු එලෙස රට තුළට මුදා හැරීම පිළිබඳව තමාට විදේශ කටයුතු ලේකම්වරයා ලෙස වගකිව නොහැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අප කළ විමසීමකදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා ජාත්‍යන්තර සම්මුතිය , ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදුවන බවයි. වියානා සම්මුතියේ 41 වන වගන්තියෙන් තානාපති වරප්‍රසාදයක් ලබාදී තිබුණ ද රටක නීතියට ගරු කිරීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක ලෙස කටයුතු කළ තමාරා කුනනායගම් මහත්මිය අවධාරණය කරන්නී ය. මේ අතර පසුගියදා ගුවන්තොටුපලේ PCR පරීක්ෂණ ආරම්භකළ පළමු දිනයේ පැමිණි පළමු මගියා වූයේ යුරෝපා සංගමයේ නිලධාරිණියකි. ඇය කිසිදු බාධා කිරීමකින් තොරව PCR පරීක්ෂණය සිදුකළා ය. මේ අතර චීන රජයට අනුබද්ධ එක් තීරයක් මාවතක් වැඩ සටහනේ මෙරට නිල ට්විටර් ගිනුමේ සඳහන් කර ඇත්තේ නිරෝධායන ක්‍රියාමාර්ග දැනටමත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති කාර්යාලවලට දැනුම්දී ඇති බවයි. එවැනි පසුබිමක වියානා සම්මුතිය කඩ නොවන බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් ය. චීනයේ එක් තීරයක් මාවතක් වැඩ සටහනේ මෙරට ට්විටර් ගිණුම ප්‍රශ්න කරන්නේ මෙවැනි පසුබිමක ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රෙගුලාසි අනුගමනය නොකරන්නේ මන්ද යන්නයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට මේ අයුරින් ඇමරිකාවේදී කටයුතු කළ හැකිදැයි ඔවුන් ප්‍රශ්න කර සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/831876207335690/   https://www.facebook.com/NewsfirstSL/videos/883698912142894/