by Staff writer 04-06-2020 | 2:03 PM
News 1st - අමෙරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අප්‍රේල් 3 වැනි දා කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු බවට හඳුනාගෙන ඇතැයි හෙනපින් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව හෙළිව තිබේ.
නමුත් ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥයන් පවසන්නේ මෙය පැහැදිලිවම ඝාතනයක් බවය.
ෆ්ලොයිඩ්ගේ ගෙල මතට යොදන ලද අධික පීඩනය නිසා මොළයට ලේ සැපයුම නතර වීම හේතුවෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
ෆ්ලොයිඩ්ගේ නාසයෙන් ලබාගත් සාම්පලවලට අනුව ඔහු කොරෝනා වෛරසය ආසාදිතව සිටි බවට තහවුරු වී ඇතැයි සඳහන් වේ.
මේ හේතුවෙන් ඝාතන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනා ද පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට සම්බන්ධ මිනියාපොලීස්හි පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව චෝදනා ගොනු කර අවසන් ය.
මිනසෝටා ප්‍රදේශයේ නීතිපති කීත් එලිසන් පවසන්නේ දින 8 කට අධික කාලයක් රටපුරා උද්ඝෝෂණවලට තුඩු දුන් මෙම ඝාතනය සිදු කළ පොලිස් නිලධාරියාට ඝාතන චෝදනා එල්ල වී ඇති අතර සෙසු තිදෙනා ඝාතනයට ආධාර හා අනුබලදී ඇතැයි චෝදනා එල්ල වන බවය.
හිටපු ආරක්ෂක ලේකම් ජිම් මැටී පවසන්නේ සිය ජීවිත කාලය තුළ ප්‍රථමවරට අමෙරිකානුවන් එක්සත් කිරීමට ප්‍රයත්න නොදරන ජනාධිපතිවරයකු දුටුවේ නම් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.
එක්සත් කිරීම වෙනුවට ට්‍රම්ප් බෙදුම්වාදයට සහය දෙන බවට ද ඔහු චෝදනා කළේ ය.
ජර්මනිය, බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, නවසීලන්තය ඇතුළු රටවල් රැසක පුරවැසියන් ද ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව විරෝධතාවල නිරත විය.
හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විරෝධතාකරුවන් ට කියා සිටියේ, ඔවුන්ගේ ජීවිත වටිනා අතර වෙනසක් සඳහා එලඹෙන මැතිවරණයේදී ඡන්දය භාවිත කරන ලෙස තරුණ ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවය.
කෙසේ වෙතත් ඔබාමා පාලන සමයේදී ඇති වූ මෙවැනි විරෝධතාවලදී උද්ඝෝෂකයන් අපරාධකරුවන් සහ මැරයන් ලෙස හැඳින්වීම හමුවේ ඔහුට ද විවේචන එල්ල විණි.
මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, විරෝධතා මැඩලීමට හමුදාව යෙදවීමේ සැළසුමට විරෝධය පළ කර ඇත.
අමෙරිකානු හමුදා ලේකම් රයන් මැකාති පැවසුවේ, ඊයේ වොෂින්ටනයට හමුදාව යෙදවීමට නියමිතව තිබූ නමුත් ආරක්ෂක ලේකම්වරයා මැදිහත්ව එය වැළැක්වූ බවයි.
හමුදාව කඩිනමින් මෙම ගැටලුව විසඳනු ඇති බව ජනපති ට්‍රම්ප් පැවසුවේ ය.
මේ අතර විරෝධතාකරුවන්ට සහය දක්වන බවට එල්ලවන චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.